කන්න වුවමනා වූ විට කිඹුලා බනිස් ගෙඩියක් කර ගැනීම.

මේ සිද්ධිය වෙලා තියෙන්නෙ එක්දහස් නවසිය බර ගනන් වලටත් එහා යුගයෙදි.හැබැයි ලංකාවේ නම් නෙවෙයි.ඒරොප්පෙ.

මම මේ කියන ප්‍රදේශය රජෙක් යටතේ පාලනය වෙච්ච රාජධානියක්.පවුරු පදනම් වලින් ආරක්ෂා වෙලා ඉන්න කං අවට ලෝකයේ සිද්ධ වෙන අර්බුධ වලින් ගැලවිලා ඉන්න පුලුවන් කියලා විශ්වාස කරපු සහ එහෙම විශ්වාස කරන්න වෙච්ච කාලයක්.(මොකද හැම තිස්සෙම හැම මනුෂ්‍යයෙක්ම අවටින් එන සතුරු කුමන්ත්‍රණ ගැන හිතේ කොනක ඉපදුන බයකින් යුතු වෙච්ච නිසා).හැබැයි ඒ හැම රාජධානියක් ඒ වගේම තවත් රාජධානියක් ආක්‍රමණය කරන්න අවස්ථාවක් එනතුරු හිටියා කිව්වොත් ඒකත් වැරදි නෑ.

කොහොමින් හරි මේ කියන රාජධානිය අර විදිහේ ආක්‍රමණිකයින්ගෙන් ගැලවිලා ඉන්න මූලික හේතුව වුනේ ඒ වටා තිබුනු අති විශාල පවුර නිසා කිසිම සතුරෙකුට ඇතුලට එන්න විදිහක් නොමැතිවීම.ට්‍රෝජන් යුද්ධයේ කතාව අහලා තියෙන ඔබ නම් මේ වනවිටත් පවුර ඇතුලින් යන්න ක්‍රමයක් හිතලා ඇති.ඒත් ඒ ක්‍රමය හරි යන්නෙත් රට වැසියන්ව, විශේෂයෙන් රටේ මහ රජුව රවටලා ගත්තොත් විතරයි.

ඒ නිසා මේ ආක්‍රමනික හමුදාව තීරණය කලා පොලොව යටින් උමඟක් හාරන්න.(සිරකරුවන් පැන යන්න භාවිතා කරන ජනප්‍රියම ක්‍රමයක්!)

රහසිගතව මේ උමග හාරගන්න සතුරු හමුදාවට පුලුවන් වුනා. දැං සතුරො පොලොව යටින් රාජධානියට ඇතුලු වෙලා ඉන්නෙ.නමුත් ප්‍රහාරයක් එල්ල කරන්න නම් නගරයේ වැදගත් තැන් වලට යන්න ඕන.ඒ නිසා දිගට උමග හෑරුවා.

මේ වැඩේ මේ විදිහට යද්දි පොලොව මතුපිට මොකද වුනේ?

දවසේ එදිනෙදා වැඩ කර ගෙන දවස ගැට ගහ ගත්තු මිනිස්සුන්ට පොලව යට මොනවා සිද්ධ වෙනවද තේරුනේ නැහැ.හැබැයි එක බේකරි හිමියෙකුට ඔහුගේ නිවස තුළින් යන්තමට බෙරයකට කරන තට්‍ටුවක් ඇහුනා.මුලදී මේ සද්දේ නොසලකා හැරියත් ඔහුගේ සහජ දැනුමට දැනුනා මේක හොයලා බලන්න ඕන දෙයක් කියලා.බෙරය ගාවට ඇවිදගෙන ගිය ඔහු දු‍ටුවේ බෙරය මත තිබිච්ච කුඩා පබලු කිහිපයක් යන්තමට එහා මෙහා වන බව.බෙරය ඉවත් කරලා පොලොවට කන තියපු ඔහුට දැනුනා පොලොව තුලින් යන්තමට හාරගෙන එන සද්දයක්.පොලොවෙන් යම පල්ලො එනවා කියලා නොහිතපු ඔහු වහාම මෙය රජ මැදුරට දැන්වුවා.හමුදාව හදිසි පියවර ගත්ත නිසා ඔවුන්ට හැකි වුනා උමඟ මැදින් පොලොව තුලට ක්ෂණික ප්‍රහාරයක් එල්ල කරලා සතුරන්ව විනාශ කරලා තමන්ගෙ රාජධානිය බේරා ගන්න.

කතාව මෙතනින් ඉවරද?        නෑ,

මෙතනින් තමයි කතාව ඇත්තටම පටන් ගන්නෙ.තමන්ගෙ රට බේරගන්න මේ වටිනා ඔත්තුව දීපු බේකරි හිමියාට(බක්කරේට) රජතුමා තීරණය කලා ඔහු කැමති තෑග්ගක් පිරි නමන්න.සාමාන්‍යයෙන් කෙනෙක් ඉල්ලන තෑගි වලට වඩා වෙනස් තෑග්ගක් ඔහු ඉල්ලුවා.

ඔහු බක්කරේ කෙනෙක්.ඔහුට වුවමනා වුනා සතුරු හමුදාවේ කොඩියේ තිබුනු ලාංඡනයක හැඩයට අලුත් බේකරි නිෂ්පාදනයක් කරන්න.හැබැයි ඒ විදිහට ඒ නිමැවුම කරන්න හිමිකම ලැබෙන්න ඕන ඔහුට විතරයි.(ස්වාධිකාර අයිතිය)

රජතුමා බොහොම කැමති වුනා.(රජතුමාගේ අතින් කටින් යන එකක්යැ)

සතුරු හමුදාව පරදලා දේශාභිමානයෙන් ඔද වැඩිලා ඉන්න ජනතාව බොහොම ආසාවෙන් මේ අලුත් නිමැවුම පිලි ගත්තා.බක්කරේ විශාල ධනපතියෙක් වෙද්දි ඔහුගේ නිමැවුම අනිත් රට වලත් පැතිර ගියා.ඒ පැතිර යද්දි මේ අලුත් නිමැවුමට අලුත් නමකුත් වැ‍ටුනා, බක්කරේගෙ නගරයේ නමින්.මේ නිමැවුම රෝලක හැඩය ගත්තා.අන්තිමේදි නම”Vienna Rolls”බවට පත් වුනා.

ලංකාවට පාන් ගෙනාපු විදේශිකයින් මේ අමුතු Vienna Rolls ලංකාවටත් ගෙනාවා. හැඩය වෙනස් වුනා.ඒක මුලින් වියන් රෝල් ලෙසත් ඊලඟට පියන් රෝල් ලෙසත් අන්තිමට හැඩය නිසා “කිඹුලා බනිස” වුනා.

(මේක මම අහපු කතාවක්.හැබැයි මම wikipedia ගිහින් බලද්දි (අද) ඒකේ අදාල පාලකයගෙ නම සඳහන් වෙලා තිබුනත් බක්කරේගෙ නමක් නම් තිබුනෙ නෑ.බනිසෙ හැඩයත් වෙනස්)

කොහොම වුනත් ලංකාවෙ අපි කන කිඹුලා බනිස් එක වඩාත් ලංවෙන්නෙ ප්‍රංශයේ වඩා ප්‍රචලිත කෑමක් වන croissant වලට.හැබැයි එව්වත් මම හිතන්නේ හදලා තියෙන්නේ ඔස්ට්‍රියාවෙම තමයි.

http://en.wikipedia.org/wiki/Croissant

කිඹුල් තඩියාගේ පොටෝ එක ගත්තේ මෙතනින්.ඕන අය ගිහින් බලන්න.

http://francaisprecoce-fle.wikispaces.com/Le+crocodile

Advertisements