යකාගේ යුද්ධය.

බිස්නස් එකක් කරනවා කියන්නෙ යුද්ධයක් කරනවා හා සමානයි.ජය,පරාජය තීරණය කරන්න විශාල හමුදා,වෙඩි බලය,භූමි වාසිය විතරක් නෙවෙයි හරි වෙලාවට හරි ආයුධය පාවිච්චි කරලා ගහන්න දැන ගන්නත් ඕන.ඒ හින්දා තමයි අද අපි උපායමාර්ගික කළමනාකරණය හෙවත් තේරෙන සිංහලෙන් Strategic Management කියලා විෂයකුත් ඉගෙන ගන්නෙ.යුද්ධයකදි සාමාන්‍යයෙන් දෙපැත්තම එක හා සමාන වෙන්නේ නෑ වගේම ව්‍යාපාරත් එක හා සමාන වෙන්නෙ නෑ.එතකොට තම තමන් දැන ගන්න ඕන තමන්ට වැඩිම වාසි සහගත දේ කරලා තමන්ගේ ජය වෙත යන්න.ඒකට අපි ඔත්තු කරුවන්,උපාය දූතයින්,බිලි දීම්,ඇවුලුම් බිලි,උගුල් ඔය වාගේ විවිධ දේවල් භාවිතා කරනවා.සමහරවිට ඒවා සාමාන්‍ය සදාචාරත්මක හා නෛතික සීමා ඉක්මවන වෙලාවලුත් එනවා.

අද මං මේ කියන්න හදන්නෙත් ලංකාවේ සිද්ධ වෙච්ච ඒ වාගේ කතාවක්.කොයික වුනත් මං මේකෙ නම ගම් මනංකල්පිත බවත් කලින්ම කියන්නේ ඔච්චරක් කරපු එකාට මෙච්චරකුත් කරන එක මහ ලොකු කජ්ජක් නෙවෙන හින්දා.

Image

en.wikipedia.org

ඔන්න ලංකාවේ වසර ගණනාවක් තිස්සේ ප්‍රසිද්ධ ආලේපන වර්ගයක් නිපදවන සමාගමක් තිබුනා.නම අපි කියමුකෝ යකාලේප කියලා.මේ යකාලේප සමාගම ලංකාවේ හැම අස්සක මුල්ලකම වගේ බොහොම හොඳින් පැතිර ගිහින් තිබුනු සමාගමක්.කොහොම හරි යම් කාලෙකදි යකාලේප සමාගමේ ලොක්කන්ට පේනවා තමන්ගේ විකුණුම්, ඒ කියන්නේ ටිකක් බර දාලා කියනවා නම් පිරිවැ‍ටුම(turnover)  ටිකෙන් ටික අඩුවෙන බව.ඇත්තටම ඇයි මෙහෙම වෙන්නෙ?

ඒ ගොල්ලො හොයලා බලද්දි දැක්කා අලුතෙන් වෙළෙඳපොළට ආපු අලුත් සමාගමක් වෙච්ච මකාලේප සමාගමේ මකාලේප කියන ආලේපනය ජනතාව අතර ටික ටික ජනප්‍රිය වෙමින් යන බව.ඒ වගේම ඉදිරියේදී මකාලේප නිසා යකාලේපට  ඉවත් වෙන්න සිද්ද වෙන බවත් කට්ටිය දැන ගත්තා.මිනිස්සුත් යකාලේප අත ඇරලා ටික ටික මකාලේප වලට පුරුදු වෙමින් තිබුනා.දැවන්ත සමාගමක් වෙච්ච යකාලේපට මකාලේප වෙළෙඳපලින් ඉවත් කරන්න දැවන්ත ප්‍රචාරක වැඩපිළිවෙලක් දියත් කරන්න තිබුනත් ලෝබ කුනෙක් සහ ඊටත් වඩා මකාලේප සමාගම නට්ටං කරලා දාන්න හිතාගෙන හිටපු යකාලේප සමාගමේ ලොක්කා ඊට වඩා වෙනස් වැඩ පිළිවෙලකට ගියා.

යකාලේප ලොක්කා බැලුවා මකාලේපට වැඩිය ලොකු වෙළෙඳපොලක් නැත්තෙ කොහේද කියලා.එයාට පෙනුනා රටේ බොහොම ඈත එහා තිබුනු පලාත් වලින් මේ මකාලේපලට විකුණුම් තාම මදි කියලා.යකාලේප එයාගේ සමාගමේ සල්ලි වලින්ම ඒ පලාත්වල අලෙවි නියෝජිතයො පිහි‍ටුවලා එයාලට කිව්වා මකාලේප ආලේපනය දිගටම ගන්න කියලා.ඒ කියන්නේ තමන්ගේ නෙවෙයි තමන්ගේ ප්‍රතිවාදියාගේ නිෂ්පාදනය තමන්ගේම සල්ලි වලින් ගන්නවා යකාලේප ලොක්කා.

ඒත් මේ වැඩේ මකාලේප දන්නේ නෑ.එයා දන්නේ ඊට කලින් එයාට විකුණුම් තිබුනේ නැති පළාත් වලින් එයාට වැඩියම විකුනුම් වෙනවා කියලා.

 මෙතන හරි ලස්සන වැඩේ වෙන්නේ අර යකාලේපට වැඩ කරන නියෝජිතයො ගන්න එක මකාලේප පැකට් එකක්වත් වෙළඳපොලට එන්නෙ නැති එක.ඒ සියල්ල යකාලේප රහසින්ම ගබඩා කරගෙන තියා ගන්නවා.

 දැං ඔහොම ටික කාලයක් ගියා.මාස 6-7 විතර.ඔය මකාලේප කියන්නේ දෑතේ හුරුවෙන් ව්‍යාපාර කරන කෙනෙක්.(Rule of thumb). මෙයා ඔය කියන කාලේ ලාභය වැඩියි.විකුණුම් වැඩියි.ආ ඒ හින්දා ඉදිරියටත් එහෙමම වෙයි කියල හිතලා පටන් ගත්තා තමන්ගේ ව්‍යාපාරය පුළුල් කරන්න.ඒ කියන්නේ අලුතින් තව කම්හලක් එහෙම ගහලා වැඩි පුර හදන්න ගත්තා.එයා මේකට ලොකු ණයකුත් ගත්තා.

ව්‍යාපාරයක අලුතින් කම්හල් ගහනවා,ඉඩම් ගන්නවා,යන්ත්‍ර සූත්‍ර ගන්නවා කියන්නේ දිගු කාලීන ව්‍යාපෘති.ඒ කියන්නේ එව්වයේ ප්‍රතිඵල එන්න ලොකු කාලයක් ගත් වෙනවා.ඒකට ආර්ථික විද්‍යාවෙදි නම් අපි කර්මාන්තයක පරිමාණය වෙනස් කිරීම,දිගු කාලයේදී නිෂ්පාදන පරිමාව වෙනස් කිරීම වගේ සංකල්ප ගොඩක් තියෙනවා.මං එව්වා මෙතන ඇද ගන්නේ නෑ.මොක හරි මේ වගේ වැඩකට අත දැම්මම අනිත් පැත්තට දෛනික ආදායම් හොඳට ලැබෙන්න ඕන නැත්තම් රෝල හිර වෙනවා.

මෙතන වුනෙත් අන්න ඒ වැඩේ.නියම වෙලාව එනතුරු බලාගෙන හිටපු යකාලේප අර එයාලා කලින් අරන් ගොඩ ගහගෙන හිටපු මකාලේප කන්ටේනර් පිටින් එලියට දැම්මා,පේමන්ට් එකට.දැං මකාලේප විකිණෙන්නේ පෙට්ටි ගානට.හරි ලාබයි.

සාමාන්‍යයෙන් ලාබ බඩුවේ හිලක් තියෙනවා කියලා ලංකාවේ මිනිස්සු අතර කතාවක් තියෙනවනෙ.අනික මෙච්චර කාලයක් තිබිලා පෙට්ටි පිටින් පේමන්ට් බැස්සම මිනිස්සු මකාලේප දිහා බැලුවේ සැකයෙන්.ඒ එක්කම යකාලේප කාලය බලා දැම්මා අලුතෙන් ප්‍රචාරක ව්‍යාපාරයක්, කෙලින්ම මකාලේපට මඩ ගහලා.

දැන් මකාලේපට ප්‍රශ්න ගොඩයි.

එක පැත්තකින් බලාපොරොත්තු නොවුනු විදිහට මකාලේප තොගයක් පේමන්ට් එකට ඇවිල්ලා.

තමන් සාමාන්‍ය විදිහට අලෙවි කරන මකාලේප විකුනගන්න බෑ.

තමන් අලුතින් කම්හල් ගහලා පටන් ගත්ත මකාලේප නිෂ්පාදනය කම්හලේම හිර වෙලා,මොකද යවපුවා විකිනෙන්නේ නැතිව අලුතින් ගහන එව්වා කොහොම විකුනන්නද.

ඒකටත් වඩා තමන්ගෙ ව්‍යාපාරයේ නමට වෙන හානිය.එක පැත්තකින් මකාලේපට බැංකු ණය ගෙවා ගන්න බැරිව හිර වෙලා.මේ ජර මරය අස්සේ යකාලේප වැඩි පඩි ගෙවලා මකාලේප සමාගමේ හිටපු හොඳම අය තමන්ට ගත්තා.ක්‍රම ක්‍රමයෙන් මකාලේප නට්ටං වෙන්න ගත්තා.

ඔන්න එතකොට යකාලේප ඇවිල්ලා මුකුත්ම කර ගන්න බැරිව හිටපු මකාලේපට යෝජනාවක් ගේනවා.

ඒ තමයි මේ ව්‍යාපාරය තමන්ට විකුණන්න කියලා.

දත කට පූ‍ටු වෙලා හිටපු මකාලේපට වෙන කිසිදු විකල්පයක් තිබුනේ නෑ.අන්තිමට ලංකාවේ අදාල ආලේපයේ ඒකාධිකාරි වෙළෙඳපොලක් යකාලේප අල්ල ගන්නවා.අදටත් ඒ යකාලේපට ලොකු තරගයක් දෙන්න කවුරුවත් නෑ.ලංකාවේ සමාගම් අතර සේවකයින් ඉහළම ප්‍රතිලාභ ගෙවන අයතනයක් විදිහට මේ යකාලේප අදටත් වැජඹෙනවා.

මම වුනත් ඒ සමාගමේ රස්සාවක් ලැබුනොත් කොච්චර හෘද සාක්ෂියට පට හැනි වුනත් යන්න හිතන අන්දමේ පුදුමාකාර ප්‍රතිලාභ ‍රැසක් ඒකෙ සේවකයො භුක්ති විඳිනවා.(ඒකට මට ඉරිසියා නෑ)

එතකොට මකාලේපට වැරදුනු තැන මොකක්ද?

මකාලේප හොයලා බැලුවේ නෑ,තමන්ගේ විකුණුම් වැඩි වුනාට ඒ වැඩි වෙන්නේ කොහොමද එ භාන්ඩ ඇත්තටම මිනිස්සු අතට යනවද කියලා ඒ කියන්නේ වෙළෙඳපොල සමීක්ශනයක් කරලා බැලුවේ නෑ.ඒත් මැනැවින් ස්ථාපිත වෙච්ච සමාගමක් වෙච්ච යකාලේප මේ සියලු දෙයක්ම දැන ගෙන හිටියා.

ආයුධය වගේම ඒක පාවිච්චි කරන්න ඕන වෙලාවත් ඒ ගොල්ලො දැන ගෙන හිටියා.යකාලේප කරපු දෙය හරි කියලා මං කියන්නේ නෑ,ඒත් මේ තමා යථාර්තය.ඔයත් යම් ව්‍යාපාරයක් කරනවනම් කවුරු හරි ඔයාටත් මේ වගේ කෙළවන්න පුලුවන් කියලා මතක තියාගන්න.මේකෙ පසු බිමින් දිවෙන දාර්ශනික කතාව මම යම්  දවසක කල් යල් බලාම දාන්නම්.

Advertisements

2 thoughts on “යකාගේ යුද්ධය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s