චේතනාහං භික්කඛවේ………….

ඕං අහවල් බල සේනාවටයි ඒකේ වන්දිබට්ටයො ටිකටයි ඕන්නං මූලග්ගාය හදාගෙන නටන්න හොඳ කතාවක් මං දැන් දානවා.මේක ඇත්තටම වෙච්ච කතාවක්.හැබැයි අද ඊයේ නෙවෙයි,මීට අවුරුදු ගාණකට ඉස්සර.මේක කාටවත් අත්හදා බලන්න කියලා කියන්නේ නෑ.

ඔන්න ඉස්සර කාලෙක එක පිටිසර ගමක හිටපු එක ආච්චි කෙනෙක් පුරුදු වෙලා හිටියා හැම පෝයටම පන්සල් යන්න.(මතක තබා ගන්න,පෝයටම එහෙම නැතුව පෝය නැති දවස් වල නෙවෙයි)ඒක එයාගේ ආගමික භක්තිය පෙන්වන මහා ලක්ෂනයක්.මේ ආච්චි පන්සල් යද්දි තනියෙම ගියේ නෑ.එයාගේ මුණුබුරා එක්ක තමයි ගියේ.ආච්චි කිව්වේ මුණුබුරාටත් දහමේ ආභාසය ලබා දෙන්න තමයි මේ එක්ක යන්නේ කියලා.කොහොමහරි මේ යන මුණුබුරා හරිම පොඩි වයසක හිටපු ලමයෙක්.අද කාලේ විදිහට නම් මොට්ටසෝරි යන වයසේ කෙනෙක්.

Image

මේ ලමයට තමන්ගේ ආච්චිගේ මහා භක්තියේ කතාව හාංකවිසියක්වත් තේරුනේ නැති වුනාට ආච්චිත් එක්ක තනියට ආවා පන්සලට.ආච්චි පන්සලට ආවට පස්සේ තමන්ගේ කොණ්ඩ ක‍ටුව ගලවලා දෙනවා ඒ පොඩි ලමයට පන්සලට ගියාට පස්සෙ,මොකටද ඒ ලමයට ආච්චි බුදුන් වැඳලා එනකන් සෙල්ලං කරන්න.කොණ්ඩ කට්ටෙන් කරන්න පුලුවන් සෙල්ලම මොකක්ද?

 ඒක තමයි කූඹි ගුල් හෑරීමේ සෙල්ලම.ඒක ඒ ලමයම හොයා ගත්තු සෙල්ලමක්.ආච්චි නිදහසේ වඳින්න ඕන නිසා අර මුණුබුරාගෙන් නිදහස් වෙන්න දාන ජිල්මාට් එකක්.ආච්චි එයාගේ හිතේ තියෙන භක්තිය ඉහවහා යන කන් වඳිනවා.ලමයා එතකන් කූඹි ගුල් හාරනවා.

දවසක් ඔන්න ආච්චි මුණුබුරා එක්ක පන්සල් ගිය දවසක ආච්චිට මතක නැති වුනා කොණ්ඩ කට්ටක් ගහගෙන යන්න.ඔන්න ඉතින් ආච්චි එදා බුදුන් වඳින්න ඉඳගෙන අර මුණුබුරාවත් ලඟින්ම වාඩි කරගෙන ගාථා කියන්න පටන් ගත්තා.අනේ ඉතින් අර පොඩි එකා ගාථා දන්නේ නෑනේ.ඉතින් ඒ ලමයා පටන් ගත්තා තමන් දන්න දෙයක් කියන්න.මොකක්ද…ලමා ගීතයක්.(දැං අපි ලමා ගීත කියලා පපර ගැහුවට ඒ කාලේ ලමයි කිව්වේ ඒවා නෙවෙයි)

“ටිං ටිං ගාලා

වලිගේ ගසාලා

අඹ ටික කනවද

 හොර ලේනෝ“කියලා.

දැන් කොහොමද ආච්චි ගාථා කියන්නේ ,මොකද මේ ආච්චි පුරුදු වෙලා හිටියේ තරමක සද්දෙන් ගාථා කියන්න.එයාට මේ ලමයා හයියෙන් සින්දු කියන එක හින්දා ගාථාව වරදිනවා.අනික ලමයත් වාඩි වෙලා ඉන්නේ ආච්චි ගාවින්මනේ.

පස්සේ ඉතින් මොනවා කරන්නද,ආච්චිත් එයාගේ භක්තිය පැත්තකින් තියලා  කියන්න ගත්තා

“ටිං ටිං ගාලා වලිගේ ගසාලා අඹ ටික කනවද හොර ලේනෝ”කියලා.