මහ රජ අඹයට කෙළි සේක.

ඔන්න එකෝමත් එක රටක හිටියා බොහොම ගරු ගාම්භීර විදිහට රට හොල්ලගෙන හිටපු රජ කෙනෙක්.මේ මහ රජ්ජුරුවන්ට තිබුනා එක එක විදිහේ සම්පත්.උද්‍යානද,ජල තටාකද,දඩ කෙලියට කැලෑද මේ සේරම මහ රාජාගේ වගේ තමයි.මොකක් හරි දෙයක් මහ රජාගේ හිතට වැදුනද ඒක ඕන මේ රජාට.ඒ හින්දා සමහර මිනිස්සු තමන්ට තියෙන දේවල් රජා ඇවිල්ලා කඩා වඩා ගන්න ඉස්සර එක්කො විනාශ කරනවා,නැත්තං ඒ වගේ බොරු එකක් දීලා ඕන එක ‍රැක ගන්නවා.ඔන්න දවසක්දා රජාගේ උයන් පල්ලට දකින්න ලැබුනා රජාගේ උයනේ අලුතින් හිටවපු අඹ ගහක හොඳ ලස්සනට පුසුඹට පැණි බේරෙන අඹ ගෙඩියක් හැදිලා තියෙනවා.

තමන් ඇවිල්ලා උයන් පල්ලා වෙච්ච එකේ කවුරුහරි ගෝතයෙක් ඇවිල්ලා මේ අඹ ගෙඩියට කෙළියොත් තමන්ගේ බෙල්ලට තොණ්ඩුව වැටෙනවා කියලා දන්න හින්දා එයා මේ අඹ ගෙඩිය කඩා ගත්තා.හොඳට හෝදලා ලස්සනට ඔතාගෙන මහ රජා හම්බවෙන්න ගියා.ආයි මොනවා හරි දෙන්න ආවා නම් ගොම්බෙට්ටත් ගන්න එකේ මහරජා කෙලින්ම එන්න කිව්වා තමන්ව හම්බවෙන්න මේ උයන්පල්ලාට.

උයන්පල්ලත් ඉතිං මොනවා වුනත් මහ රජානේ කියලා ගියා අඹෙත් දික් කරන්.රජා ඇහැව්වා”මොකෝ තමුන් මේ අඹයක් දික් කරන් ආවේ”? “අවසර මහ රජ,මන් මේ තුන් ලෝකෙන්ම වැඩියෙන්ම ආදරේ කරන්නේ ඔබතුමාට,ඉතින් මේ මුලින්ම හැදුනු අඹ ගෙඩිය මං ඔබතුමාට දෙන්න ගෙනාවා”” අහා,උඹ වැනි පට්ට පුද්ගලයින් ඉන්නා රටක රජ  වෙන්න ලැබීමත් ප්‍රීතියකි කිව්ව රජා,උයන්පල්ලාට අඹ්බට්ටා හෙවත් ඇම්බට්ටා කියන නම්බුනාමයත් දීලා අඹේ අරගෙන යන්න අරිනවා.දැං රජා කල්පනා කරනවා,මූ මට මේ අඹේ ගෙනත් දුන්නේ මට වැඩියෙන්ම ආදරේ හින්දනේ.මාත් ඒකම කරන්න ඕන කියලා රජා අඹේ දෙනවා මහ ඇමැතිගේ බිරිඳට,

මොකද එයාට තමයි රජා වැඩියෙන්ම ආදරේ කරන්නෙ.දැං එතකොට ඇමැති බිරිඳ කල්පනා කරනවා මං මේක කන එක හොඳ නෑ,මං ඒක දෙනවා මං වැඩියෙන්ම ආදරේ කරන කෙනාට කියලා.ඉතින් එයා අඹේ දෙනවා සේනාධිපතිට,ඇමැති බිරිඳ වැඩියෙන්ම ආදරේ කරන්නේ එයාට.

දැං සේනාධිපති හිතනවා මාත් මේක දෙන්න ඕන මං වැඩියෙන්ම ආදරේ කරන කෙනාට කියලා.එයා මේ අඹේ දෙනවා රජතුමාගේ අග බිසවට.මොකද එයා වැඩියෙන්ම ආදරේ කරන්නේ අග බිසවටලු.

දැං අග බිසවත් කල්පනාවේ නිමග්න වෙනවා.මාත් මේක දෙනවා මං වැඩියෙන්ම ආදරේ කරන කෙනාට කියලා එයා ඒක දෙනවා රජ ගෙදර විකටයට.

දැං මේක මේ විදිහට යනවා.විකටයගෙන් රජ ගෙදර අන්තංපුරේට අලුතින් ආව බිසවට,එයාගෙන් මහ ඇමතිට,මහ ඇමතිගෙන් සේනාධිපතිගේ බිරිඳට,එයාගෙන් ඒ ගෙදර ගෘහ සේවිකාවට,ගෘහ සේවිකාවගෙන් විකටයගේ බිරිඳට,ඒ බිරිඳගෙන් රජ්ජුරුවන්ගේ රියදුරාට ඔන්න ඔය විදිහට.අන්තිමට ඒ අඹ ගෙඩිය දවස තිස්සේම එක එක අත් වලින් එහාට මෙහාට ගිහිල්ලා නතර වෙනවා ඒ පුරවරයේ ඉන්න නගර ශෝබිනිය ගාව.

එයා ඒක ලැබුණු සැනින් තමන් ගාව ඊළඟට එන ගනුදෙනුකරුවාට දෙනවා.කවුද ඒ ගනුදෙනුකරුවා??

ඒ රටේ රජතුමා.තමන්ට උදේම ලැබිච්ච අඹ ගෙඩිය තමන් ගිය හොර පොට් එකෙන් තමන්ටම ලැබුනාම රජතුමා ගොඩක් කලබල වුනා.අඹේ ගිය ගමන ගැන හොයාගත්තු රජතුමා මීට වඩා හොඳයි බනිස් ගෙඩියක් බෙල්ලෙ බැඳගෙන බේරේ වැවට පනිනවා කියලා හිතන් රජකමත් අතෑරලා යන්න යනවා.

මේක කතාවක්,මම නෙවෙයි නියම කර්තෘ,අහපු එකක්.ජන කතාවක්ද නැත්නම් ජාතක කතාවක්ද කියලා නම් දන්නේ නෑ.නමුත් මං පොඩි අලුත්වැඩියාවන් කීපයක් කළා කතාවට. මොකක් හරි ඇත්තටම මේ කතාවේ හරය මොකක්ද?අපි ආදරය කරන අය අපිට ආදරය කරන්නේ නෑ.ඒ අය ආදරය කරන්නේ වෙනත් අයට.ඒක එහෙම වෙද්දි අපිට ආදරය කරන අය ඉන්නවා,ඒත් ඒ බව අපි දන්නේ නෑ.නැත්නම් ඕන කමින්ම අමතක කරලා. අර ෂාරුක් ඛාන්ට වගේ මට කවදද සලකන්නේ කිව්වා වගේ අපි කරන ආදරය, වෙනත් කෙනෙකුට කරන අසීමාන්තික ආදරයක මිරිඟුවෙන් අන්ධ වෙලා ඉන්න කෙනෙකුගේ නෙත් කෙවෙනි වලට පේන්නේ නෑ.ආදරය කියන්නේ අල්ලා ගැනීම,ග්‍රහනය කිරීම, වෙන කෙනෙකුට දෙන්නෙ නෑ කියන එක යන අරමුණෙන් යන කෙනෙකුට ඒ ආදරය තමන් වෙතින් පලා ගියාම වෙන්නේ අර රජතුමාට වුනා වගේ බේරේට පනින්න.සමහර මල් කොච්චර ලස්සන වුනත් අපි ඒ මල් කඩා ගත්ත ගමන් පර වෙනව නම්,කඩා ගත්තත් තියන්න ආදරයේ පුදසුනේ ඉඩ මදි නම්,මලේ පෙති ඉහිරෙනවා නම් ඒ මල ගහේ තියෙද්දිම ලස්සන බලන එක හොඳයි.අපිට හිමි නොවේවි ඒත් අඩු ගණනේ මල මිලින වෙන්නැතිව ගහේ ඉතිරි වේවි.අපි අපේ හෘද සාක්ෂිය ඉස්සරහ වැරදිකාරයෙක් වෙන එක නවතීවි.

 

“මගේ නිසල ලොව වටහා ගන්නට,ඔබේ සසල සිත අකැමැති නම්, නුඹ පතනා ලොව සොයා යන්න නො‍රැඳී,ඔබේ මගට මුදු මල් පාවඩ පතමී”(මම පබැඳූවක් නොවේ)