මහා මගඩි නාටකය.

හිතේ කොච්චර පැතුම් පුරවගෙන හිටියත් ඒ බලාපොරොත්තු ඒ විදිහටම සිද්ධ වෙන්නේ නෑ කවදාවත්ම.අපි ඉස්කෝලේ යන කාලේදි වෙච්ච ඒ වගේ වැඩක් තමයි අද දිග අරින්නේ.පාසැල් කාලය කියන්නේ ගොඩක් අයගේ ජීවිතේ සුන්දරම කාලය වුනාට ඒකේ ගැඹුරට ගිහිල්ලා බැලුවොත් අසාධාරණකම්,කුහකකම්,ඇදිලි,කැපිලි,ගො‍ටු,පන්දම්, ඕන තරම් හොයා ගන්න පුලුවන්.අපි සාමාන්‍යයෙන් කතාවක් කියද්දි ඒක එක දෙයක් වෙනුවෙන් අනික් දේවල් ගොඩක් අමතක කරලා යනවා වුනත් මෙතනදි කතාව පැති කීපයක් ආවරණය වෙන විදිහට යන්නේ කියවන ඕන කෙනෙකුට කැමති විදිහේ දෙයක් හිතා ගන්න ඉඩ ඇරලා.

අපේ ඉස්කෝලේ ශිෂ්‍ය නායකයෙක් නැත්නම් ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙනවා කියන්නේ තමන්ගේ අධ්‍යාපනය කඩා ගැනීමේ මුල්ම පියවර කියලයි ගොඩක් අයගේ අදහස වුනේ.ලමයෙක්ට ඒකේ දෙකින් එකක් ‍තෝර ගන්න වෙලා තිබුනා.අපි උසස් වෙළට එන කාලේදි සාර්ථක අඛණ්ඩ තුන් වැනි වසරටත් හෙඩ් කියන්නේ විභාගේ ෆේල් වනවා කියන එක මුල් බැහැගෙන තිබුනා.ප්‍රිෆෙක්ට් කෙනෙක් අපේ ඉස්කෝලෙන් කැම්පස් යන්න තේරෙනවා කියන්නේ හාවා හඳ දකින්නා වගේ වෙලා තිබුනා.ඒ වුනාට ඒ කාලෙට අපිට තිබ්බ උණත් එක්ක අපි ප්‍රිෆෙක්ට් වෙන්න ඉල්ලුවා.අපිව තේරිලා කියලා දැනුම් දීපු දවසෙම අපිට ලකුණු 50 දීලා එකෙන් 10අඩු කරා,මොකද අපි ඒ වෙනකොට ඉස්කෝලේ ලාංඡනය තිබ්බ බැජ් එක ගහගෙන හිටියේ නැති හින්දා.( ඒ විදුහල්පතිතුමා ඒ බැජ් විකිනිල්ල බිස්නස් එකක් කරලා තිබුනා)

Image

අන්තිමට තේරිච්ච එවුන් බලද්දි අපිට පුදුමත් හිතුනා.ඒකෙ ගොඩක්ම හිටියේ අපේ මිස්ලගේ පුත්තු.ඉස්කොලේ බාල්දි පෙරලන,කරන මැර වැඩ සේරම කරන එවුන්ට සමහර ගුරුවරු ලකුණු දීලා තිබුනා මොකද තමන්ගේ අංශයේ වැඩි ලමයි ගාණක් ප්‍රිෆෙක්ට්ලා වුනොත් තමන්ගේ බලය තියාගන්න ලේසි හින්දා.

ඔන්න බැජ් ගහන දිනෙත් ආවා.එදා උදේ අපි ඔන්න අලුත් ප්‍රිෆෙක්ට්ලා විදිහට අපේ කාමරේට ආවා.මෙන්න එතනට එනවා අපිට සීනියර් බැච් එකේ ප්‍රිෆෙක්ට් කෙනෙක්.මිනිහා නිවේදන,කථික වැඩ වලට හොඳට දක්ෂයි.දෙපැත්ත කැපෙන්න හොඳට කියන්න් දන්නවා.

මල්ලිලා දන්නවද වැඩක්,මෙතන උඹලගේ අලුත් එකෙක් ගැන හොඳ සහතිකයක් මට ආවනේ ඊයෙ“මූ හිනා වෙවී කියනවා.

“ඊයේ මිස් කෙනෙක් මගෙන් අහනවා අපේ කොල්ලත් තේරිලා බැජ් ගහනවද කියලා,මං ඔව් කිව්වම මිස් මට කියනවා” කියලා මෙන්න තනියෙන් හිනාවෙනවා.අපිත් බලා ඉන්නවා මොකක්ද මේ කියන්න යන්නේ කියලා.

“මිස් මට කියනවා, අනේ පුතේ අපේ එකා නම් මහම මහ මගෝඩියා,ඕකා ප්‍රිෆෙක්ට් බැජ් එකත් විකුණලා තමයි පස්ස බලන්නේ,ඕකව පුලුවන් නම් බලා ගන්න  කියලා”.

දැන් ඔක්කොම දන්නවා මේ මොකාටද කියන්නේ කියලා .අපේ ශාන්ට.මූට මේකෙන් පස්සේ කාඩ් එක වැදුනා මගෝඩියා කියලා.මේ කතාවෙන් පස්සේ දිග අරින අනික් කතාවලත් මේ මගෝඩියා මෙහෙමම ඉන්න පුලුවන්.ඇත්තටම අම්මම කියනවානම් තමන්ගේ පුතා මගෝඩියා කියලා තවත් ඉතින් කුමන කතාද,

ඒවුනාට එතකොට ඌ තේරුනේ කොහොමද?

හෝද හෝද මඩේ දානවා කියන්නේ ඒකනේ.මිස් නිකං නොදන්න පාට් එක ඇක්ට් කරනවා.

ඔය කතාවට ඔහොම හිනාවෙවී ඉන්න කොට මෙන්න එනවා ඔ‍ෆිස් එකෙන් breaking news………………..සෙස්ස පස්සේ

කො‍ටු කැපීම හා කලුවරේ දුන් වැඩේ.

මේ කියන්න හදන්නේ ගානව නම් ගාන්න සුපිරි වර්ගයේ ජෙල් වගයක් ගැන.

Image

hubpages.com

ඔය මීට අවුරුදු 20ට විතර ඉස්සර ජෙල් කියන්නේ අතිශය සුඛෝපභෝගී දෙයක්.ගොඩක් වෙලාවට රට ගිහින් එන කවුරුහරි අරන් එන ජෙල් තමයි කොල්ලන්ට හම්බවුනේ.

අනික මේ කාලේ ඉස්කෝලවල ඒ අවට අද වගේ කඩ් පිල් බෝවෙලා තිබුනෙත් නෑ.ගන්න හැම දෙයක්ම තිබුනේ ඉස්කෝලේ තිබ්බ සමූපකාරේ.මොකද ඒ කාලේ ආහාර මුද්දරේ කියලා ක්‍රමයකුත් තිබ්බනෙ.

ඉස්කෝලේ යන යන දවසට ඒකේ කො‍ටුවක් කපනවා.ඒක මාසේ අවසානේ එකතු කරලා ඒ ගානට සමූපකාරෙන් පෝෂ්‍යදායී කෑම ගන්න පුලුවන්.අපි ඉතින් සල්ලි එකතු කරලා ගන්න ගියාම ඒකේ තියෙන්නේ ඒ ගානට කොසු ඉදල් එහෙම.එතකොට කොස්සක් අරන් එනවා මොකද කෙඳි සහිත ආහාරයක්නේ.කොහොමහරි කතාවට ආවොත් මේ කියන ඉස්කෝලේ කොල්ලො දෙන්නෙක් හිතුවලු සමූපකාරේ හොරෙන් කඩන්න.කඩලා ඒකේ තියෙන කඩචෝරු කන්න.

දැන් ඔන්න දවසක් මේ කොල්ලො දෙන්නා රෑක හිමීට ඉස්කෝලෙට පැනලා වහලෙන් උලු අයින් කරලා සමූපෙට බැහැලා තියෙනවා.කලුවරේම වැඩේ දෙන්න හිතලා ඉටිපන්දමක්වත් පත්තු කරලා නෑ.දෙන්නම අතට අහුවෙන දේවල් කන්න ගත්තලු.ඔහොම යන කොට එක්කෙනෙක්ට නිකං එලියේ මුරකාරයා එනව වගේ  ඇහිලා කිව්වලු “මචං සික්කා එනවද කොහෙද දැන් ඇති කෑවා පනිමු” කියලා.යාලුවත් හරි හරි මචං පට්ට ජෙල් එකක් තියෙනවා කියලා ක්‍රීම් එකක් ඔලුවෙ ගාගන්න ගමන් අනික් කෙනාගෙත් ඔලුවේ ගාලා හිමීට පැනගෙන.ඔන්න ඊළඟ දවසේ ඉස්කෝලේ යමර යුද්ධයයි,මොකද සමූපෙ හොරු කඩලනේ.ඒ වුනාට මුන් දෙන්න ඉස්කෝලේ ආපු ගමන් වැඩේ මාට්‍ටු.

මොකද දෙන්නා කලුවරේ ජෙල්  කියලා ගාගෙන තියෙන්නේ මාමයිට්.මේක හේදුවත් අර සුවඳ යන්නේ නෑනේ,ඉතින් බඩු බනිස් තමයි.

කවුද මේ?මොනවද කියන්නේ?

ලංකාවේ පවතින්නේ ජේ.ආර්.ජයවර්ධන 1977 දී හඳුන්වාදුන් විවෘත ආර්ථිකයකි.එය ලංකාවේ අද පවතින සියලුම ගැටලු වලට මුල වන අතර මිනිස්සු මෙච්චර පිරිහී ඇත්තේ එනිසාය.මේ විවෘත ආර්ථිකයෙන් වූ ව්‍යසනයෙන් ගලවාගැනීමට රජය පෙරට ආයුතුය.

Image

යන ‍රැල්ලට තට්‍ටු දාන එක නැත්නම් වැල යන අත් බලලා මෙලෝ සිහියක් නැතිව ඒකටම උදව් කරන එක ගොඩක් අයගේ සිරිතනෙ.අර හිට්ලර්ගේ මාධ්‍ය ඇමති නැත්නම් මාධ්‍ය උපදේශක වෙච්ච ආචාර්ය ගොබෙල්ස් කිව්වලු ඕනම බොරුවක් සිය දහස් වාරයක් කියන්න කියන්න ඒක ඇත්තක් වෙනවා කියලා.එහෙම නැත්නම් හරිම දෙය මිනිස්සු ඒක ඇත්තක් ලෙස පිළිගන්නවා කියන එක.කීප දෙනෙක් එක්ක කතා කරද්දි ඒ වගේම කීප දෙනෙක්ගෙ අදහස් වලට සවන් දෙද්දි ආපු මතවාද කීපයක් එක්ක තමයි මේ ලිපිය දිග ඇරෙන්නේ.

Image 

මේක නිකං ප්‍රලාපයක්.අද පවතින්නේ විවෘත ආර්ථිකයක්,ඒක ඇත්ත.ඒ වුනාට ඒක සාපයක්,ව්‍යසනයක්,වසංගතයක් නෙවෙයි.ලංකාවට විවෘත ආර්ථිකය කියන දේ ගෙනාවේ ජේ.ආර්.ජයවර්ධන නෙවෙයි.

මහා පැරකුම් රජ දවස ලංකාවේ විවෘත ආර්ථිකයක් තිබ්බ හින්දා තමයි ලංකාවේ එදා ප්‍රධානම නිමැවුම වෙච්ච සහල් අපනයනය කරන්න හැකි වුනේ.ඒකාලේ මහාතිත්ථ වරාය ලංකාවේ ප්‍රධාන වරායක්.සීගිරි කසුප් රජතුමන්ගේ කාලේදි බදු නිදහස් වරාය ක්‍රමයක් තිබිලා තියෙනවා ලංකාවට විදේශ වෙලෙන්දො ඈඳා ගන්න.බුදු රදුන්ට අග්ගලා හා මීපැණි පූජා කරපු තපස්සු භල්ලුක වෙළෙඳ දෙපළ ලංකාවට ඒ දවස් වල ආවේ වෙලෙඳාම් කරන්න.

ලංකාව මේක ඇතුලටම වෙලා ඔලුව හංගාගෙන හිටපු රටක් නම් ඒ ගොල්ලො ලංකාවට ඇවිල්ලා වෙලෙදාම කරන්නේ නෑනෙ.ලංකාවේ පුරාණ නටබුන් අතරේ හමුවන විදේශ කාසි නිකන්ම ලංකාවට ආවේ නෑනේ.ඉතින් එහෙනම් මොකක්ද ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ජේ.ආර්.ජයවර්ධන කියන හරුපේ තේරුම?

ඒ වගේම මේ ප්‍රලාපය කියන් යන ගොඩක් අය නොදන්න දෙයක් තමයි අදටත් ලංකාවේ ආර්ථිකය මුලුමනින්ම විවෘත කරලා නෑ කියන එක.ගෙවුම් ශේෂ ගිණුමේ ප්‍රාග්ධන ගිණුම අදටත් අර්ධ වශයෙන් වහලා තියෙන්නේ.ඒ කියන්නේ ලංකාව හා විදේශයන් අතර නිදහස් ප්‍රාග්ධන සංචලනයකට ඉඩ සැලසිලා නෑ.

Image

ඒ වගේම ආර්ථිකය විවෘත කරනවා කියන්නේ ඕනම දෙයක් ගේන්න පුලුවන් කියන එකත් නෙවෙයි.මත්ද්‍රව්‍ය,ආයුධ එදත් අදත් තහනම්.දැන් කෙනෙක් කියාවි එහෙනම් ලංකාවට කුඩු ගේනවා කියලා හොරෙන්.ඔව්,හොරෙන් ගෙන්නනවානම් ඒක වෙන්නේ හොරෙන්,ඒකට විවෘත ආර්ථිකයක් තියෙන්න ඕන නෑ.හොරා කියන්නේ නීතියට යටින් ඉන්න කෙනෙක්.නීතිය තිබුනා නැතා කියලා නෑ ඒ හොරා කොහොමත් ඉන්නවා. එකම දෙය ආවෘත ආර්ථිකයක් ඇතුලේදි හොරු බිහිවෙන්නේ මිනිස්සුන්ට කන්න බොන්න දෙන දේට පවා සීමා වෙන නිසා.

එතකොට මොකක්ද මේ සංස්කෘතික සෝදාපාලුව?ආර්ථිකය කියන්නේ රටක පදනම නම් සංස්කෘතිය කියන්නේ ඒකේ ගොඩනැගීම.ආර්ථිකයට අනුරූපීව ප්‍රධාන සංස්කෘතිය ගොඩ නැ‍ඟෙනවා.පස්සේ ආගම දහම,නීති රීති ගොඩ නැගිලා ස්ථාපිත වෙනවා.ඉතින් ආර්ථිකය කියන්නේ වෙනස් වෙන දෙයක් වුනාම සංස්කෘතියත් වෙනස් වෙනවා.මොකද සංස්කෘතිය කියන්නේ සීගිරි ගල වගේ එක තැන එක විදිහට තියෙන ගල් ගෙඩියක් නෙවෙන නිසා.ඒක ගලාගෙන යනවා,එක එක දේවල් එකතු වෙනවා.ඒක හරිද වැරදිද කියන දෙය තීරණය වෙන්නේ ඒ ඒ ජනතාවා මඟින්,ස්වයංක්‍රීයව.

ඉස්සර සිරිසඟබෝ නූර්තිය කරන්න යද්දි ඒකාලේ හිටපු හාමුදුරුවරු,සංස්කෘතිය කරේ තියා ගත්තු අය ඒකට බැන්නේ අර ඉගිලෙන මාලුවන්ට බනිනවා වගේ.ඒත් අද ඒවා සංස්කෘතික දායාද වෙලා.

1956 දී රේඛාව චිත්‍රපටිය බලපු මිනිස්සු ඒකට බැන්නා.ඒත් අදටත් රේඛාව හැමෝටම බලන්න පුලුවන්.අගය කරනවා.ඒත් ඒකාලේ බිහි වෙච්ච අනික් සිනමා නිර්මාණවල ලියන භාසාවෙන් කතා කරද්දි,මෝල් ගස් ගිලලා වගේ රඟ පාද්දි ඒවා විහිලුවක් වෙලා.ඒක තමයි යථාර්තය.

රජයේ යම් නිලධාරියෙකුට සංස්කෘතිය කියන දෙය මොකක් විය යුතුද කියලා තීරණය කරන්න බෑ. මොකද එයාගේ රසංඥතාව නෙවෙයි හැමෝටම තියෙන්නේ.එයා සංගීතය කියන්නේ දකුණු ඉන්දීය සංගීතය වුනාට තව ලෝකේ සංගීත සම්ප්‍රදායන් ගොඩක් තියෙනවනේ.එතකොට කවුරුහරි රෙගේ සින්දුවක් කිව්වොත් ඒක එයාගේ සම්මතයන්ට අනුව වැරදියි.ඒත් ඇත්තටම ඒක එහෙමමද?

අන්න ඒකයි රජයෙන් සංස්කෘතිය තීරණය කරන්න යාමේ වැ‍රැද්ද.

ඒත් මොකක් හෝ කරුමෙකට අද ඉන්නේ නිදහස වෙනුවට යදම් ඉල්ලා හඬන සමාජයක්.මේ වගේ සමාජයක ඕන තරම් ගොබෙල්ස්ලට වැජඹෙන්න ඇති පදම් ඉඩ තියෙනවා.

මහින්ද තමයි මහින්ද

ලංකාවේ ඉස්කෝල මහ බර ගාණක් තියෙනවනේ,ඒ වගේම තමයි එව්වයේ එක එක ජාතිත් තියෙනවා.මං පොඩි කාලේදි පර්ෂද මූලස්ථ,ඊටත් ඉස්සර මහා විද්‍යාල,දැන් නවෝද්‍යා පාසැල්,ජාතික පාසැල්.(ලංකාවේ නිදහස් කියන නම් පාවිච්චි වෙන්නේ නිදහස් පක්ෂේ කියන්න හින්දා ජාතික කියන්නේ යූඇන්පීයද කියලා අහන්නත් පුලුවන්)කොහොමහරි අම්මලා තාත්තලා තමන්ගේ දරුවො හොඳ ඉස්කෝලයකට දාගන්න  නොකරනා දෙයක් නෑ.ඒකනේ අර ලිංගික අල්ලස් දීමක් ගැනත් කතාවක් ගියේ.මොකද ඒක දීලා හරි කමක් නෑ වැඩේ වෙනවනම් කියලා හිතන සමහරු ඉන්නවනේ.ඔන්න ඉතින් කොහොමහරි ලොකු ඉස්කෝලෙකට ගියා කියමුකො(මේක මේ ලියන මටත් ටිකක් අදාලයි ඒ හින්දා මේක ස්වයං විවේචනයක් කියලා කියන්නත් පුලුවන්,මොකද අපි කවුරුවත් සර්වසම්පූර්ණ නෑනේ)

Image

groundviews.org

දැං ඔය සමහරු ඉන්නවා තමන් ගිය එක තමයි ලොකුම එක කියලා හිතන් ඉන්න.අර මහින්දේ තමයි ඉස්කෝලෙ කිව්වා වගේම ඒ ගොල්ලොත් ඒ ගොල්ලො ගිය ඉස්කෝලේ තමයි ඉස්කෝලේ කියලා හිතන් ඉන්නේ,අනික්වා එතකොට ඉස්කෝල නෙවෙයි.තමන් ගිය ඉස්කෝලේ තමයි සේරම වැඩ කෑලි තියෙන්නෙ.මේක ඉස්කෝලෙනුත් එහාට යනවා.රාජ්‍ය වේවා පුද්ගලික වේවා සරසවිවල ආචාර්ය මහාචාර්යවරු ඉන්නවා තමන් ගිය රට තමයි රට කියලා හිතන් ඉන්න.අනික්වා රටවල් නෙවෙයි.

ඔන්න එක දවසක් අපි ගමන්ක් යද්දි ඒකට එක මහා චාර්යවරු සෙට් එකක් ආවා.අපි ඉතින් නිකං අපතයො ගානටනේ වැටෙන්නේ,ඒ හින්දා අපි ඉතින් හූම් හූම් කියනවා එච්චරයි.එක මහා චාර්යවරයෙක් එයාගේ ආචාර්ය උපාධිය කරලා තියෙන්නේ කොරියාවේ.ඉතින් එයා කියනවා කොරියාව ඇවිල්ලා මෙහෙමයි,අරහෙමයි.වාහනේ යන ගමන් කියනවා පාර පෙන්නලා බලන්න මේ පාරේ කාට් එක අජ සවුත්තුයි.ඒකට කොරියාවෙ…..” කොළඹ බිල්ඩිමක් පෙන්නලා කියනවා”මේ මිනිස්සු අපරාදේ තනි තට්‍ටුවට ගහන්නේ,ඒකට කොරියාවෙ”.ඔහොම ඔහොම දකින දකින හැම දේම කොරියාවෙන් බලනවා.එයාට කොරියාව තමයි රට.අනික්වා රටවල් නෙවෙයි.ඊට පස්සෙ අනික් මහා චාර්යතුමා පටන් ගත්තා.එයා ගිහින් තියෙන්නේ ජර්මනියට.ඉතින් ජර්මනිය තමයි රට.ජර්මන් කාරයා කරන දේ තමයි හරි.කන්නේ,බොන්නේ,අහවල් එක කරන්නෙත් ඌ විතරද කියලා මට අහන්න හිතුනත් නිකං මොකද මං ටිං කිරි ගාගන්නේ කියලා මං ඇහුන්නෑ වගේ හිටියා.ඊට පස්සේ අනික් මහා චාර්ය පටන් ගත්තා.එයා ගිහින් තියෙන්නේ නෙදර්ලන්තෙට.තව කෙනෙක් නයිජීරියාවට. මං හිතන් හිටියේ මේක මේ ලංකාවේ ඇකඩමියාවට විතරක් තියෙන ලෙඩක් කියලා.බලද්දි ලංකාවේ නම ගිය පුද්ගලික අංශයේ ලොක්කන්ටත් මේක පොදුයි.එක්කෙනෙකුට ජපානේ තමයි රට.එයා ලංකාව පුරා ඵලදායිතාව ගැන කියවනවා.තව මාධ්‍යවේදියෙක්ට චීනය තමයි රට.ගායකයෙක් වෙන්න හදන කෙනෙක්ට ඉන්දියාව තමයි සංගීතය තියෙන රට.තව කෙනෙක් ලෝකේ සංගීතය ගැන කියවනවා හරියට එහේ ගිහින් සංගීතය ඉගෙන ගත්තා වගේ.ඒවුනාට බලද්දි ගිහින් තියෙන්නෙ කළමනාකරණය ඉගෙන ගන්න.

Image

sodahead.com

හැබෑටම මේකලට ඒ රටවලට ගියාට පස්සේ ඒ රටේ ඉන්න එකෙක් මොනා හරි කරාද දන්නෙත් නෑ. ඒ මොක වුනත් තව දේකුත් මෙයාලගේ මං දැක්කා.ඒ තමයි  මේකලා කොච්චර ඒක තමයි ඒක කියලා මොර දුන්නට ඒ රටවල ඉන්න අය මේ සොකඩයින්ව සත පහකට ගණන් ගන්නේ නෑ.මොකද ඔය කියන තරම් එයාලා අර සංගීත සම්ප්‍රදායයි,ඵලදායිතාවයි ඔක්කොම හොඳට දන්නවනම් මේ ලංකාව නැමැති කොදෙව් රටේ අහවල් එකක් කරනවද?ගිහිල්ලා සින්දු කියහල්ලකො සුද්දන්ට,නැත්තං ඉන්දියන් කාරයින්ට එහේ ඉඳන්.මාධ්‍ය කරහල්ලකො චීනයට ගිහිල්ලා.ඵලදායිතාවෙන් වැඩ ගනින්කො ජපානෙට ගිහින්.අපිට නිකං පොයිය දාන්නෙ නැතිව.

Image

irishamerica-com

කැම්පස් කොල්ලනේ,කෙල්ලනේ මෙව්වා ඔය මහා චාර්ය වරු එක්ක කියවන්න ගිහින් නිකං රිපීඨයේ පීඨාධිපති වෙන්න නම් එපා ඕං.

මෙන්න මෙහෙමයි හොර වැඩ කරන්නේ.

ඔය හොර වැඩ,මගෝඩි වැඩ කියන්නේ සමහරුන්ගේ ජාන වලම තියෙන දේවල්නෙ.අද මං කියන්න යන්නෙත් ඒ වගේම හොර මගෝඩි වැඩක් කරන විදිහ ගැන.ඇත්තටම මේක මේ මං හොයා ගත්ත දෙයක් නෙවෙයි,මීට අවුරුදු ගාණකට කලින් ලංකාවේ ගොයියෝ කරපු ජිල්මාට් එකක්.

Image

මේ වැඩේ ගොඩක්ම වෙලා තියෙන්නේ 1970  ගණන් වල. ඒ කාලේදි සමූපකාර වල මේ වැඩේ රජට වෙලා තියෙනවා. මොකද සියලු සැපයුම් ද්‍රව්‍ය බෙදා හැරීම සමූපකාරය මඟින් වෙච්ච නිසා අදට වඩා සමූපකාරවල භාණ්ඩ ගොඩක් තිබිලා තියෙනවා වගේම අද තරම් විගණන කටයුතු දියුණු වෙලා තිබුනේ නෑ.(අදත් සමූපකාරවල බාන්ඩ ඉන්නවා,ඒවා නෙවෙයි මේ)

අ‍ටුවා ටීකා ටිප්පනි නැතිව කෙලින්ම කතාවට බහිමුකො.වැඩේ සිද්ධ වෙන්නේ මෙහෙමයි.ඔය සමූපකාර පොඩි ගම්වල තියෙන්නේ කුඩා මඩු විදිහට(ඒ කාලේ හොඳේ….).ගොඩක් වෙලාවට වහලෙට දාලා තියෙන්නේ පොල් අතු.මෙව්වා පරීක්ෂා කරන්න එන්නේ කාලෙකට වතාවක් හින්දා මැනේජරයා හොඳ ජිල් මාට් එකක් දානවා.මිනිහා සරලව කිව්වොත් බඩු හොරකම් කරනවා.ඒ කියන්නේ වාර්තා අනුව තියෙන බඩු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තියාගෙන මිනිහා ඉතුරු බඩු ටික ගෙදරට උස්සන් යනවා.අදාල ප්‍රාදේශිකයෙන් මේ සමූපකාර කඩේ බලන්න එනවා කියලා මිනිහා කලින්ම දැන ගන්නවා එහෙන්.(ඒකට අපි කියන්නේ දුස්සන්ධානය කියලා).ඊට පස්සේ ඊට දවස් කීපෙකට කලින් මිනිහා රෑ වෙනකන්ම කඩේ ඇරගෙන ඉන්නවා.ඊට පස්සේ තමයි සෙල්ලම පටන් ගන්නේ මිනිහා රෑ බෝ වුනාට පස්සේ පරණ ගෝනියක් අරගෙන කඩේ ඇතුලේ බිම එලනවා.ඒක භූමිතෙල් වලින් පොඟවනවා.පස්සේ ටිකක් උස ඉටි පන්දමක් අරන් ඒක පත්තු කරලා පස්ස දොරෙන් ගෙදර යනවා.

Image

දැන් මිනිහා ගෙදර ගියාට පස්සේ වහලා තියෙන කඩේ ඇතුලේ ඉටි පන්දම පත්තු වෙලා කොයි වෙලේ හරි ගිනි ගන්නවා.ඔය ඩොටවල් වල ඒ කාලේ පාරේ රෑට බලු බල්ලෙක්වත් නෑනේ.ඉතින් කඩේට වැඩේ සිද්ධ වෙනවා.දැන් කඩේ බලන්න ආවට වැඩක් නෑ ඔක්කොම ගිනි අරන්.හොරකම් කරපුවා කොහේ හොයන්නද?

හැබැයි මේ වැඩේ දිගටම කරන්න බෑ.ඒ වගේම මේක කියවන කවුරුහරි  ව්‍යාපාරිකයෙක් ඉන්නවනම් මේක අල්ලන්න ක්‍රමයකුත් මං කියන්න ඕනනෙ.ඒකට තමයි කඩා පැනීමේ හමුදා ක්‍රමයට ගිහිල්ලා තොග පරීක්ෂා කරන්නේ.

Image

මේ වගේ තව හොර වැඩ මේකෙන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.

උඩ යන බිම වැටෙන තරු

මේක ලංකාවේ එක්තරා ගායකයෙකුට සිද්ධ වෙච්ච වැඩක්ලු.මේක මං ලු විදිහට කියන්නේ මං අහපු හින්දා මොකද මං මේක දැක්කේ නම් නැහැ.ඒ වුනාට තාම මේ වැඩේ එච්චර ප්‍රසිද්ධ නෑ,මොකද තමං මෙච්චර චාටර් වුනා කියලා මේ වගේ ඔලුවෙන් ඉන්න ගායකයො ප්‍රසිද්ධියේ කියන්නේ නෑනෙ.මේ ගායකයා ලංකාවේ අර ත්‍රීරෝද රථ එලවන,බස් එලවන,ගාමන්ට් යන අය අතර ගොඩක් ජනප්‍රිය කෙනෙක්.දවසක් මෙයා ටීවී එකේ ඇවිල්ලා එයා සින්දු කියන්නේ මේ වගේ අයට කියලා කෙලින්ම කිව්වත් එක්ක.මෙයාගේ නම තිබුනට කට්ටිය කියන්නේ නම ඉස්සරහට ලංකාවේ මගී ප්‍රවාහන වාහනයක නමක් දාලා.

Image

කොටින්ම කිව්වොත් මෙයාගේ සිංදු වල තියෙන්නේ “නා නා නනා නනා නා…………..නා නා නනා නනා නා…………”කියන තාලය විතරයි.ඒ ඔක්කොම යාදිනි.දැං ඉතින් කෙනා දන්නව ඇතිනේ.ඔන්න මෙයා දවසක් නුගේගොඩ පැත්තේ සංගීත බඩු විකුනන කඩේකට ගියා.මෙයා දැන් හෙන ජනප්‍රිය ගායකයනේ,ඉතින් කඩේ මිනිස්සු හරියට දෙයියන්ට වගේ වැඳ වැටෙයි කියලා තමයි හිතන් ඉන්නේ.ඔන්න ඉතින් කඩේට ගියා.කඩේ තව පාරිභෝගිකයො කිහිප දෙනෙකුත් හිටියා.මෙයා ඔන්න ගිටාර බලනවා.මෙයාගේ හිත දැන් මෙයා ලොකු ගායකයා නිසා අර ගිටාරය අඩූ කරලා ගන්න,වෙන කෙනෙකුට නොදෙන තරම් මිලකට.

ඒ වුනාට කඩේට ආපු අනික් පාරිභෝගිකයො මෙයාව එච්චර ගනන් ගත්තේ නෑ,සාමාන්‍ය පාරිභෝගිකයෙක් විදිහට තමයි බැලුවේ.කඩේ හිටපු ලත් සාමාන්‍ය විදිහටම සැලකුවා.දැන් මෙයාට හිතට අප්සෙට්,මොකද මෙයාව එයාගේ මාධ්‍ය වලින් මාර විදිහට පුම්බනවනේ,අනික ඒකාලේ කැසට් පීස් එහෙමත් බස් වල නොසෑහෙන්න විකුනුනානෙ.මිනිහා බැලුවා වැඩේ හරි යන්නෑ.

Image

ගියා මුදලාලි ගාවට, එතන තව බඩු ගන්න ආපු අයත් හිටියා,”මුදලාලි මේ ගිටාර් එක කීයද?”මේක මහත්තයා රුපියල් 22,500 වෙනවා,මහත්තයට මං අඩු කරලා දාලා දෙන්නම්කො 21කට” දැන් මූට අවුල්.මුදලාලියා මූව දන්නෙත් නෑ.”මුදලාලි දන්නවද මං කවුද කියලා, මං තමයි නජිත්_____”(නජිත් යනු ඇත්ත නම නෙවෙයි)” ආ ඇත්තද,අපේ මාමගේ නමත් නජිත්නේ” මුදලාලියා හිතලා තියෙන්නේ මේකා අර මාමව දැනගෙන අර නම සමාන කමට නිකං කිව්වා කියලා.අන්තිමට මේ ගායකයා තව හිටියොත් තව චාටර් වෙන හින්දා හිමීට අර ගානටම සල්ලි දීලා ගිටාරය අරගෙන ගිහිල්ලා.සංගීත බඩු විකුණන කඩේ මුදලාලි අර ගායකයා නොදන්න එකනම් පුදුමයක් තමයි මොකද සංගීත ක්ෂේත්‍රයේ කොහේ හරි මෙයා ඉන්න හින්දා,ඒ වුනාට මිනිහට තේරුනානම් මාධ්‍ය වලින් කොච්චර පිම්බුවත් පොලොව මත යථාර්තය ඊට වෙනස් කියලා ලොකු දෙයක්.

Image

තාරකාවනි,මාධ්‍ය මගින් ඔබව පුම්බා උඩ අරිනවා විය හැක.ඔබට පිස්සු වැටෙන රසික රසිකාවියන්ද සිටිය හැක.

ඒත් තමන් තරුවක් වූ පමණින් එය හැමෝම ඔබට ඔලුව නැමියයුතු වරමක් නොවන බව වටහා ගන්න.