නිවටයා දැක්කම එලුවත් රැවුල පානවා කියන්නේ අපි අතර තියෙන ආප්තෝපදේශයක්.ඒකේ තේරුම තමයි අවස්ථාව ආපුවාම ඉතාම නොවැදගත් පුද්ගලයා වුනත් අසරණ නැත්නම් පීඩිතයාගෙන් වාඩුව ගන්න හදනවා කියන එක.එතනදි තමන්ට ඒ වින්දිතයාගෙන් විපතක් වුනාද කියන එක අදාළ නෑ.දෙන්න පුලුවන් වෙලාවේ දෙනවා බැෂ්ටිය අතීසාරයට ජාපාල ගැහුවා වගේ වෙන්න.
ලංකාවේ මේ වැඩේ හරි ලස්සනට කරන පිරිස් තමයි නීතීඥවරු,පොලීසිය,එතකොට දේශපාලඥයො.
ඒ හැමෝම තමන් ගාවට උදව්වක් සමහරවෙලාවට ඒක රාජකාරියක්,මුදල් දී ලබා ගන්න සේවාවක් වුනත් තමන් ගාවට එන මනුස්සයා අසරණ නැත්නම් එච්චර දෙයක් නොතේරෙන කෙනෙක් කියලා තේරුම් ගිය ගමන් ඒ මනුස්සයා හූරගෙන කන්න පටන් ගන්නවා.
අද මං කියන්න යන්නේ වෘත්තීමය විදිහටම මේ වැඩේ ලංකාවේ කොරන උන්දැලා වගයක් ගැන.මෙයාලා මේ වැඩේ කරන්න සියවස් ගණනක් තිස්සේ ප්‍රසිද්ධයි.අනික නීතියෙන්ම මේ වැඩේ කරන්න අවශ්‍ය ප්‍රතිපාදන හදලා දීලා තියෙනවා.
ඒ තමයි බදු නිලධාරීන්.මෙයාලට කවුරු හරි මනුස්සයෙක් අහුවුනා කියන්නේ හිඟන්නට මී වදේ අහුවුනා වගේ තමයි.පැනි ටික බීලා කිරි වදවලටත් වැඩේ සෙට් කරලා අන්තිමට වදේ මිරිකලා මී ඉටිත් ගන්න වැඩ තමයි කරන්නේ.
ඔයාලට මතක ඇති 2002 විතර ලංකාවට අලුත් බද්දක් හඳුන්වාදෙනවා.ඒ තමයි එකතු කළ අගය මත බද්ද.VAT.කලින් තිබ්බ භාන්ඩ හා සේවා බද්ද අහෝසි කරලා තමයි මේක පැනෙව්වේ.මේ බද්ද,VAT සෑහෙන න්‍යයාත්මක පැත්තක් තියෙනවා.බදු පදනම,සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්න අරවා මෙව්වා ගොඩක්.මං එව්වා මෙතන ලියන්න යන්නේ නෑ.
මොකද ඔය බදු නීති කියන්නේ රෑට නින්ද යන්නේම නැත්නම් කියවන්න තියෙන මහා හෑල්ලක්.පොත් ටික අත් උඩ තියාගෙන නින්ද යනවා ෂුවර්.කොහොමහරි කතාවට ආවොත් මේ බද්ද පනවන්න කලින් පාර්ලිමේන්තුවේ විවාදය යන අතරතුර ඇම්ඩන් කඩ හිමියෙක් දුන්නා රජ වැඩක්.
මිනිහා ආ අලුත් බද්දක් ආවා කියලා වහාම මිනිහගේ කඩේ (මට මතක හැටියට බේකරියේ) සියලුම නිෂ්පාදනවල මිල අර බදු ප්‍රතිශතයෙන් ඉහල නැග්ගුවා.
මතක තියාගන්න තවම පාර්ලිමේන්තුවෙන් බද්ද අනුමත වෙලත් නෑ.ඒත් කෑම මිල ඉහල දාලා.අනික මෙයාගේ බේකරිය ලංකාවේ අදටත් ඉහල නාමයක් සහිත ආයතනයක්.ඔන්න දවසක් ඉතින් මේ කඩෙන් ඔය උදේට කන්න බනිස්,මාලු පාන් වගයක් ගන්න එනවා එක පොරක්.
පොර කඩේට එන්නේ නිකං කොට කලිසමක් ඇඳන් හරියට අර සකලබුජං වගේ.ඒ වුනාට ලොකු ගැෂ්ටෙක්.ඔන්න ඉතින් පොර ඇවිල්ලා බඩු ගත්තම කලින් ගත්තට වඩා මිල වැඩි වෙලා.
පොර ඇහුවා ඇයි මේ හදිසියේම ඇයි මිල නැග්ගේ කියලා?
කඩේ ඉන්න අයත් (මේ ඇවිල්ලා අර ගෝලයො කියන කට්ටිය) අයිතිකාරයා කිව්ව විදිහටම කිව්වා ආ අර VAT බද්ද පණවලානේ,ඒ හින්දා මිල නැඟලා කියලා.
පොර කිව්වා “”ආ ඇත්තද මං දන්නේ නෑනේ.මට ඒක දාලා පොඩි බිලක් දෙනවද මොකද අපේ ගෙදර මහත්තයා බලයි මං ඉතුරු සල්ලි අරගත්තද?”” කියලා පොර අර කඩේ අයට කිව්වම කඩේ අයත් කඩේ බිලක් කඩලා දුන්නා.මතක තියා ගන්න සීල් එකත් ගහලයි දුන්නේ.
ඔන්න ඉතින් ටික දවසක් ගෙවීගෙන ගියා.පාර්ලිමේන්තුවේ බද්ද අනුමත වුනා.හරියටම ඊට පහු වෙනිදා රටේ සියලුම මේ බේකරි කඩේ ශාඛා වැටලුවා,
මොකෙන්ද පොලීසියෙන්ද?
නෑ.ආදායම් බදු එකෙන්.මොකද, අර ආපු පොර ආදාය්ම් බදු එකේ ලොක්කෙක්.
බද්ද අනුමත වෙන්න කලින් බද්දක් මිලට එකතු කරන්න බෑනේ.මිනිහා මේ බේකරි හිමියාගේ ඇම්ඩන් වැඩේ ඔප්පු කරන්න දෙන ප්‍රධානම සාක්ෂිය අර ඉල්ලගත්ත බිල.ආදායම් බදු එකේ නිලධාරින්(මෙයාලම තමයි VAT ගැනත් බලන්නේ)දුන්නා වැඩේ ලස්සනට.
1බද්ද අනුමත වෙන්න කලින් බද්ද මිලට එකතු කරලා තියෙනවා.ඒක නීති විරෝධියි.ඒකට දඩ ගැහුවා.
2බද්ද අය කරන්න නම් බද්ද අය කිරීමට ලියාපදිංචි වෙලා ඉන්න ඕනේ.ඒක මෙතනදි වෙලා නෑ.ඒකට දඩ වලට අමතරව ලියාපදිංචි ගාස්තුවත් ගෙවන්න වුනා.
3මේ ව්‍යාපාරය ඒ කාලේ තිබ්බ විදිහට මේ බද්දට ඇතුලත් නෑ.ඉතින් බදු අය කරපු එක නීති විරෝධියි.ඒකට වෙනම දඩ.
4හරි හෝවැරදි හෝ බදු අය කරලා තියෙනවා.එහෙනම් ප්‍රමාද ගාස්තු එක්කම එකතු කරපු බද්ද ගෙවන්න වුනා.
කොහොමද ආදායම් බදු එකේ වැඩ?මේ වගේ දෙයක් වුනාම සනීපයිනේ?
ශේක්ස්පියර් අද හිටියා නම් වැනීසියේ වෙලෙන්දා නාට්‍යයේ ෂයිලොක් වෙනුවට දාන කෙනා හිතා ගන්න පුලුවන්නේ.
ඔය බද්ද වැඩි වෙන ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් භාණ්ඩයේ වියදම ඉහළ නගින එක නම් ඉතිං මට තවමත් තේරුම් ගන්න බැරි දෙයක්
ඒක ඉතින් එහෙම තමයි කියලා තමයි කියන්න වෙන්නේ.මොකද ලෝක වෙළෙඳපොලේ තෙල් මිල ඉහල යනකොට ලී කුඩු ලිපේ ආප්ප බාන එකාගේ ආප්පෙත් ගාණ නගිනවා.
හොඳි ඕන් නෑ…
ආදායම් බදු එවුන් හක්කේ තියෙන රුපියලත් ගන්න ප්‍රසිද්ධයි කියලා අහලා තියෙනවා 🙂
අහු වුනොත් බේරීමක් නෑ.