තුන්කොන් සටන ඇරඹේ.Triangle of Love

ආදරවන්තයින්ගේ දිනය නැත්නම් වැලන්ටයින් දිනය.මීට ටික කාලෙකට කලින් එක පැත්තකින් ආදරය නාමෙන් රොද බැඳ ගත්තු වෙළෙන්දන් එක්ක ආදරය ට එරෙහිව සදාචාරයේ සීතාම්බර පට සලු පැලඳ ගත්ත ආදරය නොකරපු (කරන්න බැරි කමක් තියෙන) සංස්කෘතික පොලිසීය වෙන වෙනම සටන් කරා.ඒත් පෙරමුණු දෙකක.වෙන වෙනම.ඒත් අද එහෙම නෑ.හැමෝටම එපා වෙලා .සමහර විට අද ආදරය වෙනුවට කො‍ටු පැනීම ආදේශනය වෙලා තියෙන හින්දාද දන්නේ නෑ.

අද මං කියන්න හදන්නේ උණු කැවුම් වගේ කතාවක්. මේක සිද්ධ වෙලා වැඩි කාලයක් නෑ.කොහොමවුනත් මට මේ සිද්ධියේ ප්‍රතිඵලයක් විදිහට මොන විදිහේ තුන් කොන් සටනක් කරන්න වෙයිද දන්නේ නැති හින්දා මේක ලියලම දානවා.

අපේ කොම්පැණියේ ප්‍රධාන කාර්යාලයේ ඉන්න ලොක්කෙක්ගේ ඔපීසියට මේ ලඟදී ලේකම් බට්ටියෙක් ගත්තා.ඒ අංගනාවගේ නම මල්කි කියමුකෝ.ඇත්තටම මේ කෙලි පොඩ්ඩි රෝස  මලක් වගේ ලස්සනයි.(මට හොඳේ, අනික් එවුන්ට ක‍ටු විතරක් පේනවද දන්නේ නෑ)

අපේ තියෙන වැඩ කටයුතුත් එක්ක මං තුමාට නිතරම මේ ඔපීසිය පැත්තෙත් යන්න වෙන හින්දා මං ඉතින් ඒ පැත්තේ දවස ගානේ කැරකෙනවා කියමුකෝ.ඒ අතරතුරේ මේ මල්කිගේ විස්තරත් මට ටික ටික ආරංචි වුනා.කෙල්ල යන්තම් ඉස්කෝලෙන් එලියට ආවා විතරයි,පළවෙනි ‍රැකියාව.මේ කෙල්ල සම්මුඛ පරීක්ෂණේට ආවාම කන්න වගේ බලං හිටපු ලොක්කා තමයි මල්කිව තමන්ගේ ඔපීසියට ‍තෝරන් තියෙන්නේ.

කොහොමහරි ඔහොම ගියා කියමුකෝ.අපේ ඒ ලොක්කා අපේ වෙබ් අඩවිය හොඳට නග්ගලා ගන්න යෝජනා විමසුවා කියලා මට නිකං ඕපාදූපයක් ආවා.මාත් ඉතින් head office ගිය ගමන් කට නිකං තියා ඉන්න බැරිව වාචාලකමට කියලා ආවා එකෙක්ට

“”මල්කිගේ පොටෝ ටිකක් දැම්මා නම් වෙබ් එක නැඟී හි‍ටු කියලා”””කියලා.

අහෝ දුකකි,ඉරකි තිතකි.කවුරුහරි ගොට්ටෙක් මේක අහන් ඉඳලා මට කෙළවෙලා යන්න ලොක්කට කියලා.මට ආරංචියම ආවා ඇතුලෙන්ම කියලා පැය දෙක තුනක් යද්දි.

මං දැන් දැනගත්තා අනිවා ලොක්කා මට දැන් මොකක් හරි බයිටක් සෙට් කරනවම තමයි කියලා.මක් කරන්නද විසෙන් විස නසී කියනවනේ.මං එදා ඕනකමින්ම රිපෝට් වගයක් දෙන්න කියලා head office දිව්වා.

යද්දි ලොක්කා නෑ.

පොඩි බොස් හෙවත් මල්කි ඉන්නවා අසුන අරා එයාගේ.

ෂුවර් එකටම ලොක්කා දන්නවා කියන්නේ කෙල්ලත් දන්නවා කියන එකනේ.මං කෙලින්ම කතා කරා මල්කිට.

කෙල්ලත් පැන ගෙන ඕන එකෙක් එක්ක කතාවට එනවනේ.

පැය භාගයක් විතර ලෝකේ නැති පිස්සු ටිකක් දොඩවලා කෙල්ලව හොඳට මුරුංගා අත්තේ තියලා මං කියවපු ටික ශේප් කර ගත්තා කියමුකෝ.ඒත් ආයි පාරක් මගේ වාචාල කට ඉස්සර වුනානේ.අන්තිමට එන්න  ලං වෙලා මං කෙල්ලට හිමීට කිව්වා

“”මොනවා වුනත් මං කිව්වේ ඇත්තනේ.ඔයා අද ඇත්තටම ලස්සනයි “”කියලා.

(මොකද මං අර කියවපු ධනාත්මක චින්තන පොතක එහෙම කෙල්ලෙක්ව වර්නනා කරනවා තිබුනා මට මතක තිබුනා) එදා කෙල්ල ඇඳන් ඇවිත් තිබුනේ සුදු පාට ඔසරියක්.

ඒ බොසාට ඔය සාරි පටලවන් එන කෙල්ලන්ව අරහං.මිනිහා එදා මොකක් හරි එකකට මල්කිට හොඳට දෙසලා තිබිලා.

ඒ අවුල අස්සේ ඉන්න ගමන් මං ගිහිල්ලා මල්කිව හොඳට මුරුංගා අත්තේ තිබ්බම අප්සෙට් එකේ හිටපු කෙල්ල නෝමල් වෙලා.මං ඒ මදිවට අද ලස්සනයි කිව්වම ඒකිට මාර happy.

Image

thefrisky.com

 

ඔන්න මංතුමා ආවා කියමුකෝ ආපහු.ඊට පස්සේ දවසෙ ආයිමත් head office ගියා මං.මෙන්න යකෝ අපේ එවුන් මං ආවම නිකං කින්ඩියට වගේ බලනවා.සමහර කොල්ලො මං දිහා හරියට උන්ගේ කෙල්ල එක්ක යාලු වෙන්න ආපු එකා දිහා බලනවා වගේ රවනවා.මට මාර අවුල්.ඇයි යකෝ මුන්ගේ දවසින් දවස වෙස් පෙරළෙනවද කියලා කල්පනා කරං මං යද්දි මෙන්න එනවා මට කෝල් එකක්,මගේ නිල නොවන අයිතිකාරියගෙන්.

ඔ‍ෆිස් වෙලාවේ කෝල් ගන්න එපා කියලා එතුමියම කියලා තියෙද්දි ඇයි යකෝ කෝල් ගන්නේ මොකක් හරි කේස් එකක් කියලා ෆෝන් එක උස්සපු මට තේරුනා සම්පූර්ණ කතාව.කවුරුහරි එකෙක් මගේ කෙල්ලට දීලා හොඳ රස නිව්ස් එකක් උදේම, මං මල්කිත් එක්ක යාලුයි කියලා.

මං ඊයේ මල්කිත් එක්ක දොඩවපු එක මගේ කෙල්ල කොහොමද දන්නේ කියලා කල්පනා  කරපු මං මොකුත් නොදන්න ගානට කටින්ම කතාව අල්ල ගත්තා.

මං ඊයේ මල්කිත් එක්ක දොඩවපු එක මගේ කෙල්ල දන්නේ නෑ.(මාත් ඔලුව කල්පනා කරලා හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නුවේ නෑ)

අද උදේ මල්කිට කවුරු හරි එකෙක් රෝස මල් පොකුරක් එවලා.කරුමෙට ඒකේ එවපු එකෙක් දාලා නෑ.ඉතින් මල්කි හිතලා ඊයේ මං ලස්සනයි කියලා එහෙම කියපු එකේ මං තමයි මේ වැඩේ කරලා තියෙන්නේ කියලා.ඉතින් මල්කි කාටවත්ම කියන්න එපා කියලා ඔ‍ෆිස් එකේ කෙල්ලෙක්ට කියලා.( කොච්චර හොඳට ඒක ඉ‍ටු කරාද කියන්නේ අල්ලපු කොම්පැණියේ වැඩ කරන මගේ කෙල්ලටත් කියලා)

what girls really need? ස්ත්‍රී ජාතී නැත විශ්වාසේ.

මේ ලෝකේ කොල්ලන්ට තියෙන ලොකුම දුර්වලතාවක් තියෙනවා වසර දහස් ගණනක් තිස්සේ පරිණාමය වෙලත් තාම හදා ගන්න බැරි වෙච්ච.මිනිස්සු ගල් යුගයෙන් එඬේර යුගයට, එඬේර යුගයෙන් කෘෂි යුගයට,පස්සේ කාර්මික යුගයට පරිණාමය වුනත් අද අපි තොරතුරු තාක්ෂණ,නැනෝ තාක්ෂණ යුගයට ආවත් තාමත් මානව සංහතියේම පිරිමින්ගේ මේ වැ‍රැද්ද තියෙනවා.

Image

wikipedia

ඒත් ඒක හරි සොඳුරු වැ‍රැද්දක්.

ආයි ආයි කරන්න හිතෙන ජාතියේ වැ‍රැද්දක්.

ඒ තමයි අච්චර මෙච්චර කොච්චර වැඩ තියෙද්දි මොනවා තිබුනත් කෙල්ලෙක්ගේ බැල්මක් අබියස තමන් කරපු,ගොඩ නඟපු දේවල් තඹ සතේකට මායිම් නොකර දූලි ගානට දාන එක.

මහා අධිරාජ්‍යයක් දිග් විජය කරන්න කියලා හිතාන පුරාණ මිසරය හරහා යන්න ආපු ජුලියස් සීසර්,ක්ලියෝපැට්‍රාගේ වසඟයට අහුවෙලා අන්තිමේදී තමන්ගේ අධිරාජ සිහිනයට විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතයට පවා කෙළවගත්තා.

ජුල්යස් සීසර් රෑ වැටිච්ච වලේ දවල් ගිහිල්ලා පැන්න මාක් ඇන්තනිට වුනෙත් ඒ වගේම දෙයක්.

එංගලන්ත කිරීටය තියෙද්දිම අටවන එඩ්වඩ් රජු තමන්ගේ කිරුළ වොලිස් සිම්ප්සන් වෙනුවෙන් අත්හරිනවා.මහා අධිරාජ්‍යයන්,මාලිගා,යන වාහන මේ හැම දෙයකින්ම පරිපූර්න වෙච්ච ඕනම ජගතෙක්ව මෝඩ කෙල්ලෙක්ගේ බැල්මක් ඉස්සරහ දන ගස්සන්න පුළුවන් කියන එක ප්‍රායෝගික යථාර්තයක් බවට පත් වෙනවා.

ඇත්තටම එහෙම වෙන්නේ ඇයි?

මං ඒකට කියනවා කෙල්ලෙක්ගේ ලස්සන කියලා.ඒත් ලස්සනට නම් මානව ශිෂ්ටාචාරයන් ගණනාවක් තිස්සේම පිරිමියා කාන්තාව ඉස්සරහ දන නැමුවේ,කැත ගෑනුන් ලෝකේ බලවත්තු වුනේ නැද්ද?

කැත ගෑනු පරිණාමයේදී ප්‍රතික්ෂේප වුනා නම් ලෝකේ අද ලස්සන ගෑනු විතරක් ඉන්න ඕන නේද?ඔයා මගෙන් අහාවි.

ඔව්.ඔයා කියන එක ඇත්ත.ඒත් මම කියන්නේ ඔයා කියන එක ඇත්ත වෙන ගමන් මම කියන එකත් ඇත්ත වෙන win win situation එකක්.

මම අද කියනවා ලෝකේ ඉන්නේ ලස්සන ගෑනු විතරයි කියලා.

හේතුව ගෑනියෙක් කොච්චර ලස්සනද කියන එක තීරණය වෙන්නේ ඒ කාන්තාව කොච්චර ලස්සනද කියලා අදාල බලය හිමි පිරිමියා තීරණය කරන මට්ටමට.

එතකොට එතනදි අපි අර දන්න සාමාන්‍යයෙන් කියන සුදු පාට හමක් තියෙන,නිල් ඇස් ඇති බොත්තමක් වගේ නහයක් තියෙන කෙල්ලො විතරක් ලස්සන කියන කුලකයට අයිති වෙන්නේ නෑ.

කුමන හෝ මොහොතක යම් පිරිමියෙක් යම් කාන්තාවක් ලඟ දමනය වෙනවාද ඒ පිරිමියාට ඒ යුවතිය ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල වෙලා පේන්න ගන්නවා.

Mister world ‍තෝරන තරග වලට වඩා  miss world ‍තෝරන තරග වලට ප්‍රේක්ෂක අවධානය යොමුවෙන්නේ ඒ හින්දා.තමන්ගේ ඉස්කෝලේ sports meet යන්නෙ නැති කොල්ලො ඒ පැත්තේම බාලිකා පාසල්වල sports meet  වරද්දන්නැතිව බලන්න යන්නේ අන්න ඒ හින්දා.

කොල්ලො හැම තිස්සේම හිතන්නේ කෙල්ලො තුල තමන් නොදන්න අමුතු ප්‍රහර්ෂයක් තියෙනවා කියලා.ඒ විතරක් නෙවෙයි ඒ අමුතු එක කොල්ලො හොයාගෙන යනවා.ඒ අමුතු ප්‍රහර්ෂය තමන් ගාව තියෙනවා කියලා පෙන්නන්න පුළුවන් වෙච්ච තරමට කෙල්ලට කොල්ලව තමන්ගේ දෙපා පාමුල දන ගස්සන්න හැකි වෙනවා.

ඒ වෙනුවෙන් කොල්ලො,පිරිමි තමන්ට පුළුවන් ගොඩක් දේවල් දෙනවා.

මහා දැවැන්ත ඇකඩමික අධිරාජ්‍ය ගොඩ නඟාගෙන ඉන්න මහාචාරිලා හිඹිටිලි කෙල්ලන්ට උපාධි,පන්ති සාමාර්ථ,ශිෂ්‍යත්ව,රස්සා…..ඕන දෙයක් හදලා දෙනවා.අන්තිමේදී තමන් නිසා වැඩ වැරදුණු(?) කෙල්ලව භාර ගන්න එකාටත් සලකනවා.

 Image

මහා වෘත්තීයවේදීන් විදිහට පෙනී ඉන්න බක්කෝ සරුවපිත්තල සෙකට්‍රිලා ගාව දන ගහනවා.

වැඩිය ඕන නෑ,ලංකාවේ මහනුවර යුගයේ රජකම සම්බන්ධ අප්‍රසිද්ධ කතා වලදි ගැනියෙක්ගේ අර අමුතු එකට කොච්චර  දෙයක් කරන්න පුළුවන් වෙලා තියෙනවද කියලා හොයාගන්න පුළුවන්.

එතකොට ඒ කෙල්ලන්ගේ ලස්සන වෙනුවෙන් කොල්ලො දෙන්න කැමති නම් ඕන දෙයක්,

ඒ කොල්ලන්ගෙන් කෙල්ලො බලාපොරොත්තු වෙන්නේ මොනවද?

එක පාරටම කෙල්ලො කියාවි ‍රැකවරණය,සෙනෙහස,ආදරය,…..

මං කියනවා බම්බුව.

කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන එක ඒ කෙල්ලවත් දන්නේ නෑ.දැන ගත්තත් එක පාර කියන්නෙත් නෑ.ඒත් සරලව කියනවා නම්

කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ

“”ඕනම දෙයක්””.

crazy girls කෙල්ලන්ට පිස්සුද

 මේ ලෝකේ ගෑනු ලමයින්ට පිරිමි ලමයින්වත් පිරිමි ලමයින්ට ගැනු ලමයින්වත් තේරුම් ගන්න එක, එක පාරටම තියා දහ පාරටවත් කරන්න බෑනේ.අර චුල්ල ධනුද්දර ජාතකය ඇසුරෙන් හදපු මනමේ නාට්‍යය බලපු අය ඉන්නවනම් මෙන්න මේ කතාව මතක ඇති.

මනමේ කුමරාට තේරෙන්නේ නෑ මනමේ කුමරිය කියන්නේ මොකක්ද කියලා.

ඒ හින්දා කුමරා කියනවා”ඔබ කියනා දේ මට නොතේරේ සෞම්‍යයිය ” කියලා.

එතකොට පස්සේ කුමරිය වැදි රජුගේ පිළිසරණ පතන අවස්ථාවේ වැදි රජු කියනවා

” ඔබ කියනා දේ මට නොතේරේ” කියලා.

(මනමේ කුමරා ශිෂ්ටත්වයත් වැදි රජු අශිෂ්ටත්වයත් සංකේතවත් කරන නිසා කුමරා ඇයට සෞම්‍යයිය කියලා (අද බසින් කියනවනම් honey,darling,sweetie සුදූ,පැටියෝ වගේ) කිව්වට වැද්දා නිකන්ම අමතනවා)

Image

babble.com

ඒ කියන්නේ සංස්කෘතිය,සභ්‍යත්වය,සම්මතයන් කොහොම තිබුනත් පිරිමින්ට ගෑනුන්ව තේරුම් ගන්න බෑ.(ඒ විදිහට නාට්‍යය හදලා තියෙන්නේ).

ඉතින් අද මං කියන්න යන කතාවත් අන්න ඒ වගේ සිදුවීමක්.කියවලම බලන්නකො.

ඔන්න ඉස්සර එක රාජධානියක ඉන්නවා ලස්සන කුමාරියක්.මෙයා දැන් ඉන්නේ විවාහයක් කරගන්න වයසේ.රජතුමා මෙයාට එක එක විදිහේ කුමාරවරු ගෙනැල්ලා පෙන්නුවත් ම්හු, නෑ කිසිම කැමැත්තක්. අන්තිමට රජතුමා තීරණය කළා රාජකීය වෛද්‍යවරයට මෙයාව පෙන්වලා මේකට හේතුව හොයා ගන්න.වෛද්‍යවරයා හොඳට හොයලා බලලා කිව්වා මේ කුමාරිය හිතින් වෙනත් කෙනෙකුට පෙම් කරනවා කියලා.ඉතින් රජතුමත් සන්තෝස වෙලා බලද්දි ඒ තමයි සතුරු රාජ්‍යයක කුමාරයෙක්.

Image

devianart.com

ඉතින් කොහොමද මේ වැඩේ කරන්නේ?

දැං ටික ටික තත්ත්වය දරුණු වෙනවා.කුමරිය වැඩේ එළි වෙච්ච හින්දා දැන් කෑම වර්ජනය කරන්න පටන් අරං.(ඒ කාලේ ලෙමන් පෆ් තිබුනේ නෑ,හොඳේ)

රජතුමත් බය වෙලා.අන්තිමට තරහ මරහ අමතක කරලා අර මරණාසන්න වෙච්ච කුමරිය බේරා ගැනීමේ අරමුණින් රජතුමා අර සතුරු රටට පණිවිඩයක් යැව්වා මේ කතාව කියලා.

සතුරා වුනත් තමන් වෙනුවෙන් කෙල්ලෙක් මැරෙන්න යනවා කියන්නේ සෙල්ලං ද කොල්ලෝ කියලා හිතපු ඒ රටේ කුමාරයා සු‍ටුස් ගාලා ආපි අර කුමරිය බලන්න.දැන් ඔන්න අර කුමරිය සයනය මත දුකින් වැතිරිලා ඉන්නවා.කුමරා යනවා කුමරියගේ සිත සනසා ඇයගේ පණ බේරා ගන්න.

Image

styleite.com(මෙයා නෙවෙයි හොඳේ)

මොකද වුනේ?

අර කුමරා දැක්ක කුමරිය ගස්සලා අහක බලා ගත්තා.කුමරා ළඟට ගිහිල්ලා අත ඇල්ලුවම අත ගසලා දැම්මා.

Image

sodahead.com

දැන් මාර ගැටලුවක්.කොහොමද කුමරියව බේරා ගන්නේ.

රජතුමාට ඔලුව ගිනි ගත්තා.කොහොමත් රජ්ජුරුවන්ගේ ඔය ගිනි ගන්න එව්වා නිවන්නේ එකම එක්කෙනයිනේ.ඒ තමයි නගර ශෝබිනිය.

ඇය අපූරු උපදෙසක් දුන්නා.ඒ අනුව කුමාරය ක්‍රියාත්මක වුනා.

කුමාරයා වැටි වැටී අර කුමරියගේ කැමැත්ත ඉල්ලා සිටියා.

ඒත් කුමරිය හොඳට් ගණන් උස්සලා හිටියා.

ඊළඟට කුමරා අර නගර ශෝබිනිය කියපු උපක්‍රමය ක්‍රියාත්මක කළා.

කුමාරයා ගණන් උස්සන්න ගත්තා.ටික ටික කුමරියව ගණන් නොගෙන ඉන්න ගත්තා.ටිකෙන් ටික කුමරා කුමරියව ඈත් කරන්න් ගත්තා.

මෙන්න මෙච්චර වෙලා කුමරා ගණන් නොගත්ත කුමරිය, කුමරා වෙල ආලවන්ත කම් පාන්න ගත්තා.

Image

rocketswag.com

අන්තිමට කුමරිය කුමරාට ආදරය ප්‍රකාශ කළා. අන්තිමට අර රාජධානි දෙකත් යාලු වුනා.අන්තිමට සියල්ලෝ සතුටින් විසිර ගියා.කතාව ඉවරයි.

දැන් එතකොට කුමාරයා අච්චර පස්සේ එද්දිත් අර කුමාරිකාව ගණන් ඉස්සුවේ ඇයි?තමන් හිතින් ආදරය කරද්දිත්?ඊට පස්සේ කුමාරය ගණන් උස්සද්දි කුමාරිය කුමාරයා පස්සේ ගියේ ඇයි?

 අනික දැන් ඉන්න කෙල්ලොත් එහෙම කරන්නේ ඇයි?දන්න කෙනෙක් ඉන්නවනම් මට කියලා දෙන්නකෝ.

Damsel in distress,හොඳ ගෙඩි පණුවො කන්නේ ඇයි?

අපි ආදරය කරන අය අපිට ආදරය කරන්නේ නෑ.ඒ අය ආදරය කරන්නේ වෙන අයට.ඒ ගමන්ම අපිට ආදරය කරන අයව අපි දන්නේ නෑ.ඒ අයගේ ආදරය අපිට දැනෙන්නේ නෑ.මොකද එයාලා අපිට ආදරය කරන්න අපි දිහා ඇස් දල්වාගෙන ඉන්න වෙලාවේ අපේ ඇස් ‍රැඳිලා තියෙන්නේ අපිට ලැබෙනවා කියලා හිතන් ඉන්න ඈත සිතිජයේ තියෙන විසල් ආදරයක් දිහාවට.

Image

fanpop.com

ගෑනු ලමයෙක් පිරිමි ලමයෙකුට ආදරය කරද්දි ඒ ආදරය උත්තරාරෝපිතයි.ඒ කියන්නේ ගෑනු ලමයෙක් නිතරම බලන්නේ තමන්ට ඔලුව උස්සලා උඩ බලන්න පුලුවන් ආදරයක් දිහා.එයාගේ ස්ත්‍රීත්වය දියකරන්න පුලුවන් උණුසුමක් තියෙන හදවතක් දිහා.තමන්ගේ නළල ආදරයෙන් හොබවන්න පුලුවන් පුළුල් උරහිසක් දිහා.

Image

howietzer.devianrart.com

 

මිනිස් ශිෂ්ටාචාරයේ මුල ඉඳන්ම යුවතිය කියන්නේ ආරක්ෂා විය යුතු,සෙනෙහස,‍රැකවරණය ඉල්ලා සිටින සියුමැලි වස්තුවක් වෙනවා.තමන්ට ආරක්ෂාව දෙන්න පුලුවන්,‍රැකවරණය දෙන්න පුලුවන් කියලා හිතන තමන්ගේ හීන ලෝකයේ වීරයාට තමන්ගේ ආදරය පුද දෙන්න ඕනම යුවතියක් තමන්ගේම හෘද සාක්ෂියට ශපථ වෙලා ඉන්නවා.ඒ හින්දයි තමන්ගේ ලෝකයේ ආදර්ශවත් වෙරය වෙන්නේ තමන්ගේ තාත්තා කියන කෙල්ලො තමන්ගේ තාත්තාට සමාන පෞරුෂයක් තියෙන පිරිමින්ට වසඟ වෙන්නේ.

ඒත් තමන්ගේ තාත්තා කියන්නේ තමන්ට වඩා ගොඩක් වයසින් වැඩි ඒ නිසාම රළු අඟපසඟ ඇති පුද්ගලයෙක්.තමන්ගේ පොඩි කාලේදි තමන්ට මඟ පෙන්වන්නේ තාත්තා.ගෑනු ලමයින්ට අවකාශමය හැකියාවන් ගොඩක් අඩුයි.ඒ අවකාශමය හැකියාව පොඩි කාලේදි උගන්වන්නේ තමන්ගේ තාත්තා.ඒ යුවතිය ලොකු වුනාම තමන්ට නොදැනුනු ලෝකයේ අවකාශය තමන්ට දැනෙන්න සැලැස්සෙව්වෙ තමන්ගේ තාත්තා කියන එක ඒ යුවතියන්ගේ යටි හිතේ තැන්පත් වෙලා තියෙනවා.ඒක තැන්පත් වෙන්නේ පෞරුෂයක් විදිහට.එතකොට ඒ පෞරුෂය තමන්ගේ පරමාදර්ශී චරිතය බවට යටි හිතින්ම පත් වෙලා ඉවරයි.

ඉතින් අර තාත්තලා මඟින් ආරක්ෂා වෙච්ච බෝනික්කෝ වගේ සුන්දර යුවතියො තමන්ගේ ජීවන සහකරු විදිහට පතන්නේ තමන්ට තමන්ගේ තාත්තා වගේ ‍රැකවරණය දෙන ආරක්ෂකයෙක්.ඒ ආරක්ෂකයා තමන්ගේ සියුමැලි ස්ත්‍රීත්වය හිම පිඬක් වගේ දියකරලා දාන්න තරමේ උණුසුම් චරිතයක් වෙන එක තමයි ඒ යුවතියන්ගේ පරම පැතුම.

Image

hdwallpapersinn.com

කොච්චර මොනවා කිව්වත් තමන් එක්ටැම් කුළුනේ සිරවී ඉන්න ‍රැපුන්සෙල් කෙනෙක් විදිහටත් තමන්ගේ හද දිනා ගන්න එන පෞරුෂය සෛන්ධවයෙක් පිට එන නයිට් කෙනෙක් විදිහටත් කෙල්ලො හිතනවා.ඉතින් ඒ එන පෞරුෂය තමන්ගේ ස්ත්‍රීත්වය දියකර හරින්න පුලුවන් වෙච්ච මොහොතෙම …….

(තේරෙන සිංහලෙන් කියනවනම් හොඳ ගෙඩි පණුවො කනවා කියන්නේ ඕක තමයි)

පූජනීයයි ආදරේ………..????????

කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව,‍රැකවරණය.තමන්ට උපාධියේ තියෙන බර වැඩ ටික කර ගන්න එක.කෙල්ලෙකුගෙන් කොල්ලෙකුට ඕන තමන්ගේ රිපෝර්ට් ගොඩ දාගන්න එක,ඒ ඇරුනම වැඩ පුරුදු වෙන එක.මොකද මේ පරිසරයේ තිබ්බ මහා පාලුව,මාස ගනනකටවත් ගෙදර යන්න වෙන්නේ නෑ.හරියට ෆෝන් වල සිග්නල් වැඩ නෑ.මෙතනදි යාලු වෙච්ච බොහොමයක් අයට ආයි විවහයෙන් පස්සේ ඉගෙන ගන්න කියලා,අත්හදා බලන්න කියලා අලුත් දේවල් තිබුනේ නෑ.මොකද ඒවා එතනදිම අත් හදා බලලා තිබ්බ හින්දා.මේක ලංකාවේ අනික් සරසවි වලට වඩා බොහොම දරුණුවට මෙහේ තිබුනා.තමන්ගේ ජීවිතේ මුල්ම ආදරය අත් විඳපු පූජා කෙල්ලෙක් විදිහට තමන්ට උරුමවෙලා තිබ්බ හැම වටිනාකමක්ම අමිලට ඕනම වෙලාවක පූජා කරන්න ලෑස්ති වෙල හිටියා.ඒත් අමිලකියන්නේ සදාචාරවත් කොල්ලෙක් හින්දා ඌ කිසිම දවසක් රතු කට්ට පැන්නේ නෑ.ඒකට හේතු කීපයක් තිබුනා.අද එතන ඉඳං………..

Image

අමිල කියන්නේ ලංකාවේ ඈත දුෂ්කර ගමක ගොවියෙක්ගේ පුතෙක්.ක‍ටු මැටි ගහපු පොඩි ගෙදරක හිටපු කොල්ලෙක්.කෙනෙකුට හිතෙන්න පුලුවන් තමන්ගේ තරම නොදැන මහා උස ගහක තියෙන මලක් කඩන්න ඇයි අමිල ගියේ කියලා,ඒත් ඒ තමයි ආදරයේ ස්වභාවය.ඔයා ආදරය කරද්දි ඔයාට පේන්නේ ඔයාට දකින්න ඕන දේවල් විතරයි.අමිල පූජාව පූජනීය විදිහටම ‍රැක බලා ගත්තා.අව්වෙ ඉන්න වෙන,ඇවිදලා කරන්න වෙන ගොඩක් වැඩ වලදි පූජාගේ වැඩ කොටස කරලා දීලා තිබුනේ අමිල.අමිලට ඉංග්‍රීසි බැරි වෙන හැම වෙලාවකම අමිලව ගොඩ දාලා දුන්නේ පූජා.

අන්තිමේදී අන්තිම අවුරුද්දත් ආවා.කැම්පස් එකේ පළමු වසරේදි ගහපු කොකු ගොඩක් ඇද වෙලා කැඩිලා ගිහින් තිබුනා.ඒත් මේ සම්බන්ධය මෙහෙමම තිබුනා.දවසක් මේ කැම්පස් එකේ කට්ටියට පූජාගේ ගෙවල් පැත්තට යන්න ඕන කමක් වුනා.අමිලත් ආවා.එතන්දි තමයි අමිල වගේම බැච් එකේ ඔක්කොම පූජා කොච්චර ඉහල ධනපති පන්තියේ කෙනෙක්ද කියලා දැන ගත්තේ.අති විශාල තත්ත්වයේ නෑදෑයො ඉස්සරහ අමිලට තේරුනා තමන්ට මෙතන තැනක් නෑ කියලා.කොටින්ම මේ පරිසරයේදි පූජාගේ පවා වෙස් පෙරලුනා කියලා මුලු බැච් එකටම තේරුනා.

Image

ජීවිතේ හින්දි චිත්‍රපටි වලින් විග්‍රහ කරන්න පුලුවන්.ඒත් මේ මහ පොළොව උඩ පය ගහන මේ ජීවිතය හින්දි චිත්‍රපටියක් තරම් සුන්දර නෑ.තමන් මෙච්චර කාලයක් තිස්සේ පූජාවකට ගෙනියන මලක් වගේ ආරක්ෂා කරපු පූජාව මේ මහ පොලොවේ යථාර්තය හමුවේ අත හැර යන්න අමිල තීරණය කරා.පූජා හඬා වැ‍ටුනා.ඒත් හඬා වැටෙන මේ සමනලීව තමන්ගේ දෝතට අරගෙන ක‍ටු අත්තක දවටන්න අමිලට හිත් දුන්නේ නෑ.මොකද ඌ ඇත්තටම පූජාට ආදරය කරපු නිසා.පූජා හිතාන හිටියේ ආදරය කියන දේ හමුවේ ඔය කියන හැම බාධකයක්ම සුණු විසුනු වෙලා යයි කියලා.අන්තිමේදී මේ ප්‍රශ්නය මුල් කරගෙන බෙච් එක දෙකට බෙදුනා.කොල්ලො ගත්තෙ අමිලගේ පැත්ත.උන් කිව්වේ බැඳලා දුක් විඳිනවට වඩා මෙහෙම අයින් වෙන එක හොඳයි කියලා.ඒත් කෙල්ලො ටික කිව්වේ මෙච්චර කාලයක් ආදරය කරද්දි මේ පන්ති බේදය ගැටලුවක් නොවුනා නම් දැන් මොකක්ද ප්‍රශ්නේ කියලා.මෙතනට කට දාපු අපේ ඩෙඟා “උඹලට මේකේ සංදර්භය තේරෙයි යකෝ උඹලත් බැඳලා පඩි පෙලවල් ගහද්දි ” කියලා අන්තිමට මේක දිගටම ගිහිල්ලා ගහලා තිබ්බ අනික් කොකු කීපෙකුත් කඩලා ගියා.

මේ ඔක්කොම වෙද්දි පැත්තකට වෙලා අඬ අඬ හිටපු පූජාගේ ආදරය වෛරයක් වෙන්න වැඩි කලක් ගියේ නෑ.මං මේ වගේ ප්‍රතික්ෂේප වෙන්න ඕන කෙනෙක් නෙවෙයි කියන පූජාගේ මමත්වය උපරිමයටම නැග්ගා.පූජා අමිලගෙන් පලි ගන්න ගත්තා.කැම්පස් එකේ අවුරුදු 4 ම ඉවර හින්දා ඇතුලේදි ලොකු දෙයක් කරන්න බැරි වුනා.පූජා ගියා මූනු පොතට.ඒත් අමිල ඒ වෙනකොට තමන්ගේ account එක  delete කරලා තිබුනා.පූජා ඊළ්ඟට කලේ අමුතුම වැඩක්.එයා බැන්දා ලොකු කෙනෙක්ව.

Image

දෙන්නා හරියට කිංකොං එක්ක නයොමි වැට්ස් වගේ තමයි.ඒ වෙඩින් එකට ඔක්කොම බැච් එකට ආරාධනා කරලා තිබුනා අමිලටත් එක්කම.ඒත් කොල්ලො එකෙක්වත් ආවේ නෑ.ඒකේ පූජා තමන්ට කරන්න පුලුවන් අති දැවැන්තම විච්චූරණ ටික කරලා තිබුනා.ඒත් ඒ එකකින්වත් පූජාගේ වෛරය යටපත් වුනේ නෑ.පස්සේ දවසක් පූජා තමන්ගේ මිනිහගේ හයිය අරන් කට්ටියක්ව යවලා තිබුනා අමිලව බලලා එන්න.ඒත් ඒ වෙනකොට අමිල රට ගිහින් තිබුනා රස්සාවකට.පූජාට අදටත් එයාගේ හිතේ තියෙන වෛරය යටපත් කර ගන්න පුලුවන් වෙලා නෑ.  

දැන් පූජා කරන්නේ තමන්ගේ ධනයෙන් බලයෙන් ආඪ්‍ය වූ ජීවිතයේ සුඛ විහරණය මූනු පොතේ දිග අරින එක.එයා හිතන්නේ ඒක යම් කිසි දවසක අමිල දැක්කම අමිලගේ හිත රිදෙයි කියලා වෙන්නැති.

ඒත් අමිල මේ වෙනකොට තමන්ට ගැලපෙන ඒත් පූජා තරම් ලස්සන නැති එයා තරම් පෝසත් නැති ගෑනු ලමයෙක්ව  බැඳලා පූජාගේ  පවුල් ජීවිතයට වඩා හොඳ පවුල් ජීවිතයක් ගත කරනවා කියලා පූජා දන්නේ නෑ.

මං එයාට ආදරේද?

ආදරය කියන්නේ මේ ලෝකයේ තියෙන විප්ලවීයම හැඟීම.අපිට කාටවත් ආදරය කරන්න එයාගෙන් අවසරය ඕන නෑ.ආදරය කරන්න අපිට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඒ හා සමාන ආදරයක් ඕන වෙන්නෙ නෑ.ආදරය ගනුදෙනුවකින් එහාට ගිය දෙයක් වෙන්නෙ ඒ නිසයි.ඒත් ආදරය උපදින්නෙ කාටවත් නොදැනීම,ඒ හින්දා ඒ ආදරය මොන වගේ තද බල කුණා‍ටුවක් වෙන්න පුලුවනිද කියලා කිසි කෙනෙකුට කියන්න් බෑ.ඕනම කෙනෙක් ආදරය කියන දේ වටහාගන්නේ තමන් තුල තියෙන රික්තකයක් පරිපූර්ණත්වයට පත් කර ගන්න ඉවහල් වෙන සංකල්පීය දෙයක් විදිහට.තමන්ගේ ආදරය ප්‍රතික්ශේප වුනාම තමන් මෙහෙම ප්‍රතික්ශේප වෙන්න ඕන මාදිලියේ කෙනෙක් නෙවෙයි කියන තමන් තුල ඉන්න මමත්වය එලියට එනවා.ආදරය වෛරයක් බවට පත් වෙන්නේ අන්න ඒ විදිහට.මේ පූර්විකාව කියන්නේ ඇත්තටම සිද්ධ වෙච්ච අපූරු ආදර කතාවක දැවී ගිය අලුවලට වටිනාකමක් දෙන්න මිසක් එව්වට ආයි පණ දෙන්න නෙවෙයි කියලත් කියන්න ඕන.

Image

පූජා කියන්නේ ලංකාවේ අගනගරයේ සුපිරි බාලිකා විදුහලක ඉගෙන ගත්තු යුවතියක්.එයාගේ පවුලේ හැමෝගෙම එයා සුරතලී වෙච්ච නිසත් උපතින්ම විශාල ධනයකට හිමිකම් කිව්ව නිසත් මෙයා දුක කියන දේ ඉතාම අඩුවෙන් විඳපු කෙනෙක්.මන බඳිනා රූ සපුවකට හිමිකම් කියපු නිසා ඕනම කොල්ලෙක්ගේ අවධානය මේ වගේ කෙල්ලෙකුට යොමුවෙන එක සාමාන්‍ය කරුණක්.ඒ හින්දා ගෙදරිනුත් ලොකු ආරක්ෂාවක් දීලා තිබුනා.කිසිම කොල්ලෙකුට මේ ආරක්ෂාව එක්ක පූජාට කිට්‍ටු කරන්න පුලුවන් වෙලා තිබුනේ නෑ.මගේ වදනින්ම කියනව නම් පූජා කියන්නේ බඹරෙකුට තියා මීමැස්සෙකුටවත් ඇස නොගැ‍ටුන මොලකැටි මලක්.පිණි බින්දු ඉහිච්ච උදයේ පිපුණ සුගන්ධනීය පුෂ්පයක්.

Image

A/ L වලට ජීව විද්‍යාව ‍තෝරගත්ත පූජා තේරුනේ ලංකාවේ තියෙන අතිශය දුෂ්කර ඒත් රමනීය පරිසරයක් තියෙන විශ්ව විද්‍යාලයකට.තමන්ට තිබ්බ වත් පොහොසත්කම් එක්ක විදේශ සරසවියකට යන්න හැකි වුනත් පූජාගේ ජීවිතය මේ විදිහට ලියවෙන්න තිබ්බ විදිහට වෙන්න ඇති එයාට මේ සරසවියටම එන්න හිතෙන්න ඇත්තෙ.මේ සරසවිය අති දරුණු විදිහට නවක වදය දෙන දෙවන වසරේ ශිෂ්‍යයන්ට ජේෂ්ඨ උත්තමයා කියලා කියපිය කියලා උගන්වන බක්කො ටිකක් ඉන්න තැනක්.කොටින්ම කිව්වොත් ‍රැග් සීසන් එක ඉවර වෙනකන් කිසිම ලමයෙකුට ගෙදර,ක්ලාස් එන්න නොදෙන ජෙප්පො ‍රැලක් ඉන්න් තැනක්.මෙතනට ගිය පූජාට දැනුනේ තමන් වෘකයො ‍රැලකට මැදි වෙච්ච බැටළු පැටියෙක් වෙලා කියලා.ඉංග්‍රීසියටම හුරු වෙච්ච තමන්ගේ කට අමාරුවෙන් පරිස්සමින් හසුරුවන්න වුනා.අර මහා ලොකු ජේෂ්ඨ උත්තමයො රෙග් සීසනෙක ඉවර් වෙනකම් කොටි ‍රැල වගේ බලාගෙන හිටියේ  මේ බඹරු නොදු‍ටු මලේ පෙති තලන්න.

Image

ඒත් පූජා දිහා එයාලට අමතරව බලාගෙන හිටපු තව කෙනෙක් හිටියා.ඒ අමිල.අමිල ඒ නවක සිසුන් අතරම හිටපු කොල්ලෙක්.පූජා කියන්නේ නිර්මල මලක් බව අමිල දැන ගත්තත් එයාගේ හිතේ පූජා ගැන තිබුනේ ආදරයක්.රාගයක් නෙවෙයි.‍රැග් සීසන් එක ඉවර වෙනවත් එක්කම අර ජේෂ්ඨ උත්තමයින්ට කලින් අමිල ඉස්සර වුනා.අමිල සේරටම කලින් පූජාගේ පෙම්වතා බවට පත් වුනා.අනික් හැමෝම් ඉරිසියාවේ පැලෙන්න හැදුවත් දැන් කරන්න දෙයක් නෑ.මේ පරිසරයේ සරසවි ප්‍රේමය කියන්නේ ටිකක් වෙනස් දෙයක්.කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව,‍රැකවරණය.තමන්ට උපාධියේ තියෙන බර වැඩ ටික කර ගන්න එක.කෙල්ලෙකුගෙන් කොල්ලෙකුට ඕන තමන්ගේ රිපෝර්ට් ගොඩ දාගන්න එක,ඒ ඇරුනම වැඩ පුරුදු වෙන එක.මොකද මේ පරිසරයේ තිබ්බ මහා පාලුව,මාස ගනනකටවත් ගෙදර යන්න වෙන්නේ නෑ.හරියට ෆෝන් වල සිග්නල් වැඩ නෑ.මෙතනදි යාලු වෙච්ච බොහොමයක් අයට ආයි විවහයෙන් පස්සේ ඉගෙන ගන්න කියලා,අත්හදා බලන්න කියලා අලුත් දේවල් තිබුනේ නෑ.මොකද ඒවා එතනදිම අත් හදා බලලා තිබ්බ හින්දා.මේක ලංකාවේ අනික් සරසවි වලට වඩා බොහොම දරුණුවට මෙහේ තිබුනා.තමන්ගේ ජීවිතේ මුල්ම ආදරය අත් විඳපු පූජා කෙල්ලෙක් විදිහට තමන්ට උරුමවෙලා තිබ්බ හැම වටිනාකමක්ම අමිලට ඕනම වෙලාවක පූජා කරන්න ලෑස්ති වෙල හිටියා.ඒත් අමිල……..

පෝස්ට් එක හිතපු නැති විදිහට දික් වෙන නිසා අනික් කෑල්ල ඊළඟට දාන්නම්.