ගින්නට හූ කියු මිනිස්සු

දවසක් අර ගලියෙන් ගිනි නිවීමේ කතාවෙදි මම කිව්වා අර ගිනි නිවන හමුදාවට එන්න කියන්න කලින් අපි අපේ වතුර බවුසර් අරන් දිව්වේ ඇයි කියලා පස්සේ කියන්නම් කියලා. ඒත් කිව්වා කිව්වා මයි මට ඒක එහෙමම අමතක වෙලා යනවා තව ටිකෙන්.අද ඒ හින්දා ඒ කතාව කියනවා.

Image

දැං ඔය ගොඩක් පැතිවල කොහේ හරි ගිනි ගත්තම වෙන්නේ වටේ පිටේ ඉන්න මිනිස්සු එකතු වෙලා ගිනි නිවන එකනේ. ඒ වුනාට ඒක එච්චරම සාර්ථක නෑ. ඒ හින්දම සමහර පැති වල තියෙන පළාත් පාලන ආයතනවලට වෙනමම ගිනි නිවන රථ ලබා දීලා තියෙනවා.ඔන්න මං මේ කියන පැත්තටත් ගිනි නිවන රථ එකට දෙකක්ම දීලා තිබුනා ඒරොප්පෙන් ලැබිච්ච ආධාරයක් විදිහට.

Image

මේ රථ දෙක ලැබිච්ච දවසේ මේ කට්ටිය ප්‍රීතිය සමරන්න කියලා සයිරන් දාගෙන ටවුම වටේම ගියා.නියම වැඩේ කියන්නේ ඒ යුද්ධ කාලේ කොහේටද මන්දා කොටි ගහපු දවසක්.ඒ අස්සේ මෙයාලා සයිරන් දාගෙන ටවුම වටේ යන්න ගිහිල්ලා මිනිස්සු බයවෙලා ගෙවල්වලට දිව්වත් එක්ක.මේ වැඩෙන් ගිනි නිවන රථ භාරව කටයුතු කරන කෙනා බැණුම අහපු හින්දා මේ රථ දෙක අදාල ආයතනයේ පැත්තක ගාල් කරලා තියන්න තීරණයක් ගත්තා. ඔන්න දැං ඔහොම කාලයක් ගතවුනා.හදිසියේම මේ ටවුමේ කඩවීදියේ කඩයක් ගිනිගත්තා.කඩ වීදියක ගින්නක් ඇතිවුනාම භයානකම දේ තමයි ඒක අනික් කඩවලටත් පැතිරෙන්න පුලුවන් වීම.දැන් ඔන්න වටේ හිටපු අය වැඩි හොඳට අදාල පැත්තේ පළාත් පාලන ආයතනයේ ගිනිනිවන ඒකකයට කථා කරලා කිව්වා.මොකද ඒ ආයතනයේ ඉඳන් ගිනිගත්ත කඩේට ඇති ඕනම නම් මීටර් 400. දැන් ඔන්න ඉතින් අපරාදේ කියන්න බෑ කියලා විනාඩි 10 විතර සයිරන් දාගෙන එනවා ඇහෙනවා. ඒ වුනාට ඔන්න ටිකකින් මිනිස්සු හූ…..කියනවා ඇහෙනවා.

Image

රථයත් පාර මැද නැවතිලා.අර කඩේ ගින්න නිවන්න ආපු ගිනි නිවන රථයේ තෙල් ඉවරවෙලා. (යන්න පුලුවන් වුනේ මීටර් 50 විතර).

ඒ පාර මොකද වුනේ? අනික රථයට එන්න කිව්වා,ඒක නම් ආවා එක දිගටම ගිනි ගන්න තැනටම.ඇවිල්ලා හෝස් එක අල්ලද්දි ඒක වැඩ නෑ.මොකද, ඒකට වතුර ලෝඩ් කරලා නෑ.සුපුරුදු පරිදි මිනිස්සු ආයි හූ…………කියන්න ගත්තා,අන්තිමට මොකද වුනේ? වටේ ඉන්න මිනිස්සු එකතු වෙලා කඩේ බිත්ති ටික කඩලා දාලා ගින්න පැතිරෙන එක නවත්තගත්තා.

මේක ඇත්තටම ලංකාවේ එක්තරා ටවුමක සිද්ධ වෙච්ච වැඩක්.මේ කතාවේ පාඩම වෙන මොකක්වත් නෙවෙයි අවදානමට පෙර සූදානම කියන එක.

ගලියෙන් ගිනි නිවූ වගයි.

මේක ලියන්න කලින්ම කියන්නේ මේක ආරක්ෂක අංශයට කිසිදු සම්බන්ධතාවක් නැත.මේ වෙච්ච දෙයට කිසිම හමුදාවක් හෝ ඊට  අයත් අයද සම්බන්ධ වී නැත.මං එහෙම කියන්නේ නැත්තං මට මේක දාලා සුදු වෑන් වල යන්න වෙයිද දන්නේ නැති නිසාය.

Image

මං මේක ලියන්නේ මගේ විදිහට.

ඔන්න දවසක් මම එක්තරා කඳවුරකට සහභාගී වුනා.මේක ඇවිල්ලා බොහොම ඈත වියලි පලාතක තිබ්බ කඳවුරක්.මේක වටේම කැලෑව.මේ කඳවුරේ පරිපාලන වැඩ වලටත් අපි සම්බන්ධ වුනා.මේක හරිම දුෂ්කර පැත්තක් නිසා වතුර දුන්නේ බවුසර් වලින්.

දවසක් අපි වැඩ කර කර ඉන්න කොට හදිසියේම ආරංචියක් ආවා මෙන්න අපි හිටපු තැනට එහායින් තිබ්බ ලඳු කැලෑවට ගිනි ඇවිලිලා කියලා.මේකට ගින්න ඇවිලුනොත් අපි ඉන්න හරියටත් ගින්න එන්න පුලුවන්.

අපි ඉද්දිම දුන්නා පණිවිඩය සියලුම බවුසර් වලට ගින්න එන පැත්තට යන්න කියලා.(ගිනි නිවන හමුදාවට එන්න කියන්නේ නැතිව අපේ බවුසර් වලටම කිව්වේ ඇයි කියලා පස්සේ කියන්නම්.)

අපිත් වෑන් එකක නැගලා ඒ පැත්තට ගියා.යද්දි ඔන්න ඒ පැත්ත සට සට ගාලා ඇවිලෙනවා.

Image

එතන හිටිය කට්ටිය එක එක විදිහට වතුර ගහලා ගින්න නිවන්න හදනවා. බවුසර් තාම මග. ඔන්න එක පාරටම එනවා බවුසරයක් මහ සද්දෙන්. ඒත්ඇවිල්ලා බලා ඉන්නවා.දැං අපි බැලුවා යකෝ බවුසරය ආවනම් නිකං ඉන්නේ ඇයි කියලා.බලද්දි ඒක වතුර බවුසරයක් නෙවෙයි.

ඒක ගලිබවුසරයක්.බවුසර ඔක්කොම යන්න කිව්වම මේකත් ඇවිල්ලා.( ඒක ගැහැව්වා නම් ගින්න හොඳට නිවන්න තිබ්බා).

 Image

ඊගාවට මෙන්න තව පොඩිට්‍රැක්ටර් බවුසරයක් ආවා. ඒකත් බලා ඉන්නවා.

අපි ඇහුවා මෙතනට වතුර ගහන්නේ නැද්ද?

“සර්, මං වතුර පුරවන් එන්නද?”

” ඇයි මනුස්සයො ගිනි ගන්න තැනට එන්න කියන්නේ වතුර ගහන්න නෙවෙයි නම් හුලන් ගහන්නද?” 

“නෑ සර්,මං මේ ආවේ ගිනි ගන්නවදකියලාබලන්න?”

යකෝ මේ මිනිස්සුන්ට බවුසර අරන් එන්න කිව්වම හිස් බවුසර අරන් එනවා.අර අන්දරේගේ උත්තර දෙන්නේ.

කොහොමින් කොහොමින් හරි අන්තිමට වෙලාව පහුවෙලා හරි වතුර බවුසරයක් ආපු නිසා යන්තම් ගින්න නිවාගත්තා.

 

මේකේ සිද්ධ වෙච්ච හොඳ රසබර සිදුවීම් තිබ්බා,ඒත් මෙතන දැම්මොත් විසුමක් වෙන්නේ නැති හින්දා දාන්නේ නෑ.මොකහරි දැන් මේතැනට අපි ආයි යනකොට නම් ගින්න නිවන්න ගලිය ගිය කතාව නම් ඇදිලා එනවාමයි.