මහා ලී දන්සැල හෙවත් ලොක්කා ‍රැවටූ ජිල්මාට්.great wood corruption

ලොක්කා කියන්නේ කොහොමත් ලොකු කෙනෙක්නේ.ලොක්කාට හැමෝම වගේ බයයි.මකද ලොක්කට බලය තියෙනවා.විධිමත්වම.(සමහරවෙලාවට ලොක්කා ගාව ඉන්න එකා ලොක්කට වඩා ලොකු විදිහට ඉන්නවනේ)

අර කතාවකුත් තියෙන්නේ එක කන්තෝරුවක පියන් කෙනෙක් කිව්වා කියලා

“ලොක්කා ඇති තැන මම බලු කුක්කාය,නැති තැන මහ ‍රැජිනගෙත් මී මුත්තාය”

කියලා.ඉතින් අද දිග ඇරෙන්නෙත් ඒ වගේ කතාවක්.මේකේ ඇත්තම සිද්ධිය දන්න අය අදටත් සමහර පැතිවල ඉන්නවා,ඒ හින්දා පරිස්සමින් නම් ගම් පාවිච්චි කරන්න වෙන්නේ.

ලංකාවේ එක ආයතනයක් තිබුනා.මේක ජහමනයා සතු ආයතනයක්.ඒ හින්දා මේකට නිශ්චිත අයිතිකාරයෙක් නෑ.මේ ආයතනය ඔන්න එයාලගේ ප්‍රධාන ව්‍යාපාරික කටයුත්තට අදාලව පිට රටින් ටෙන්ඩර් දාලා ගෙන්නුවා විශාල දැව කඳන් තොගයක්.නිකං නෙවෙයි අපි අර කෙම්පස් ලී කියන්නේ අන්න එව්වා.

 

ටිකක් එහෙම නෙවෙයි නැවක් පුරෝලා.බර සල්ලියක් වියදම් වුනා මේකට.ඔන්න දැන් ප්‍රසම්පාදනය,අනුමැතිය අරක මේක ඔක්කොම කරලා අර ලී පුරවගත්ත නැව ලංකාවට ආවා කියමුකෝ.ඔන්න එතකොට තමයි මේ අදාල ජහමනයා සතු ආයතනයේ ලොක්කන්ට ගිනි පත්තුවුනේ.ඇයි?

මෙච්චර විසාල දැව තොගයක් මෙයාලා ගෙන්නුවට මෙයාලට මතක් වෙලා තිබුනේ නෑ,යකෝ මේක ගබඩා කරන්නේ කොහේද කියලා.නැවක් පුරවලා ලී ගෙනාවම මෙයාලට එච්චර විසාල ගබඩා තිබ්බේ නෑ.මළ කෙළියයි කියලා කට්ටිය හදිසියට පුද්ගලික ව්‍යාපාරිකයෙක්ගෙන් වැඩි මිලට ගබඩා කුලියට ගත්තා.ඒත් මදි.අනික දැන් මේවා වරායේ තියන් ඉන්නත් බෑ,ගුදම් ගාස්තු වලටත් වඩා වරායෙන් බර බරේ දාන්න ගත්තා මේක මළ වදයක් හින්දා මේ අර දඩාර ලී තොග ගුදම් වල ගොඩ ගහන් ඉන්නවා කියලා.

මොකද වුනේ, කරන්නම දෙයක් නැති තැන ලොක්කො අරගත්තා මාර තීරණයක්.ඒ ගොල්ලෝ කුලියට ලොරි අරගෙන අර ලී තොග අඩුක් කරා නගරයෙන් බැහැර පාරවල් දිගේ.

ලොරිය එනවා ලී ගන්නවා,ගිහින් බානවා.

ඒ බාන තැන් වල කිසිම නිලධාරියෙක් නෑ.අනික බාන්නේ පාරේ හින්දා GRN වෙන්නෙත් නෑ.අන්තිම ප්‍රතිඵලය,ඒ පැත්තේ මිනිස්සු අර ලී ගෙවල් වලට ඇද ගත්තා.පැත්තේ ලී මෝල්කාරයා දුන්නා බාගෙකට විතර වැඩේ,සත 5 ගෙවන් නැතුව.අර ලොරිවලත් එන මිනිස්සු අන්තිමට ලී බාන්නේ නැතිව ඒවත් අරං ගියා ගෙදර.ඇයි යකෝ ලොරි කුලී වගේද අච්චර වටින ලී ගොඩක්,අනික කෙම්පස් ලී.!!!!!

Image

මේ ආයතනේ ඉන්න ලොක්කන්ගේ හා සොක්කන්ගේ මහා ලී දානයෙන් පස්සේ දැන් ඔන්න එයාලා කල්පනා කරනවා මේ පාඩුව වහන්නේ කොහෙන්ද කියලා.මොකද තමන්ගේ තොගය මූදට වීසිකරා වගේනේ.කට්ටිය දුන්නා රජ ජිල් මාට් එකක්.

අවුරුද්ද අන්තිමට ගිණුම් හදද්දි මෙයාලා සම්පූර්ණ තොගය, අර නැතිවෙච්ච එව්වත් එක්කම තියෙන විදිහට දාලා අවසන් තොගය ගිණුම්ගත කරා.(මෙයාලගේ ගිණුම් වර්ෂය දෙසැම්බර් 31 ඉවරයි,අර ලී දානය වුනේ දෙසැම්බර් අන්තිම සතියේ විතර).

 

එතකොට මේ අවුරුද්දේ ලාභය අඩු වෙන්නේ නෑ,මොකද අවසන් තොගය අර මුල් ගාණම පෙන්නනවනේ.ලොක්කෝ කට්ටිය ආ මේ පාර අපේ ආයතනය මෙච්චර ලාභයක් ලබලා කියලා පත්තරවල එහෙම දාලා මහ තැනටත් ගිහිල්ලා පෙන්නුවා.එතුමාටත් ඒක එච්චරම තේරුනේ නෑ.මොකද ඉහලට ඉහලට යන්න යන්න,කට්ටිය බලන්නේ සාරාංශගත දත්තනේ.වෙච්ච සෙල්ලම දන්නේ නෑනේ.

 

එතකොට හානියට මොකද වුනේ?

ඊලඟ අවුරුද්දේ මෙයාලා මුලින්ම ද්විත්ව සටහනක් දැම්මා තොග හානියට.එතකොට මේ අවුරුද්දේ තොග හානිය ඊලඟ අවුරුද්දේ මුලදි වෙච්ච පාඩුවක් විදිහට දාලා ඒ අවුරුද්ද මුල ඉඳන් පාඩුවක් විදිහට අරං ආවා.

අන්තිමට පාඩුව පාඩුවම තමයි,ඒ වුනාට අතීසාරයට අමුඩ ගහන විසඳුම් තමයි මේ ආයතන කොහොමත් දෙන්නේ.ඉතින් අවුරුද්දක් ශේප් කරා මේ ජිල්මාට් එකෙන්.

අනික වෙලාවටම මේ ආයතනය ගැන හොයලා බලන මහ ලොක්කට ගිණුම්කරණය ගැන ලොකු දැනුමක් නෑ.