ඔය බඩු ඇවිල්ලා කොහොමත් ගණන්.අනික ලංකාවේ නිතරම වෙන වැඩේ තමයි බඩු ගනන් උස්සන එක.ආර්ථික විද්‍යානුකූලව කියනවනම් උද්ධමනය කියන්නේ ඒක.ඕකෙම අනික් එක තියෙනවා ඒ බඩු ගනන් අඩු වෙන එක.එතකොට ඒක අවධමනය.කොහොමත් ඔය ගණන් උස්සන බඩු හිමීට ගනන් බස්සන වෙලාවලුත් නැතුවම නෙවෙයි.අනික ඔය සමහර බඩු ගනන් උස්සන්න උස්සන්න අපි තව තව පස්සෙන් යනවා.එතකොට බඩු තව තව උස්සනවා ගාන.අනික ඔය සේවා එහෙමත් ඒ කියන්නෙ වැඩ කරවා ගන්නත් ගානක් ගන්න කොට එව්වත් උස්සන වෙලාවල් එනවා.ඒ හින්දා සේවාව ගන්න කලින් අහන්න ඕන කීයද ගාන කියලා.මොකද සේවාව භුක්ති විඳලා ගාන ගෙවන්න ගියාම අනිවාර්යයෙන්ම කියන ගාන ගෙවන්න වෙන හින්දා.ඉති සේරටම කලින් ගාන අහන එක හොඳා.පස්සේ උස්සන එකට වඩා.
ඔන්න මේ කියන කතාව වුනේ අපේ අභ්‍යන්තර විගණන අංශයේ.මේකේ වැඩ කරද්දි අර කාර්යාලයක ඉඳගෙන පුටුවක් උඩට වෙලා වැඩ කරනවට වඩා නිතරම එක එක තැන් වල යන්න වෙනවා.සමහර වෙලාවට assignment හම්බවුනොත් වෙන වෙන ආයතන වලටත් යන්න වෙනවා.ඔන්න දවසක් අපේ මේ අංශයට ආවා අලුතෙන් හාදයෙක්.මේකා ආපු ගමන් වැටුනේ අර ඒ දවස් වල එක්තරා ලොකු සමාගමක් තව සමාගමක් අත්පත් කරගත්තු එකක assignment එකකට යන්න.ඇත්තටම මේ වගේ ඒවට යන්න වෙන දවසට මාර කට්ටක්.ඒ වුනාට කරලා ආවට පස්සේ මාර ගති.
මොකද පිට ගියාම අපිට වෙනම සල්ලි ගන්න පුලුවන්.ඔන්න මේ අලුතින් ආපු කොලුවා,අපි නමකුත් දාමුකෝ රොෂාන් කියලා,මේ ආයතනයට වගේම අංශයටත් ආපු ගමන් අර පිට යන වැඩේට ගිහිල්ලා ඇවිල්ලා office එකේ ඉන්නවා.මිනිහා එක්ක ගිය අනික් කට්ටිය දැන් සල්ලි ගන්න කොල පුරවනවා.දැන් රොෂාන් අහනවා
“” මොනවද අයීයේ මේ පුරවන්නේ”?
“”ආ මල්ලි ,උඹ අලුතෙන්නේ ආවේ,දැන ගනින් අපි මෙහෙම පිට වැඩ වලට ගියාම අපිට ඒවාට වෙනම ගෙවනවා.අපි වැඩේට ගතකරපු කාලේ,ඒ කියන්නේ දවසක් නම් පැය 8 කට ගෙවනවා.මෙන්න මේ කොලයක් පුරවලා ගනින්.”” අපේ කොල්ලෙක් කිව්වා.
දැන් ඔන්න ඉතින් මිනිහත් මාර උනන්දුවෙන් කොලයක් අරන් පුරවනවා.(මේකට අපි work sheet කියන්නේ).ඕකේ තියෙනවා සබ්බ සකලමනා විස්තර.ඕකේ තියෙනවා පැයක රේටය කියලා හිස්තැනක්.දැන් රොෂාන්ට මේක තේරෙන්නේ නෑ.අනික මිනිහා ඇවිල්ලා අර බට ලයිට් පොරක්.මිනිහට මොනව හරි කියලා කරන්ට් පාස් වෙන්න ගොඩක් වෙලා යනවා.ඉතින් කොල්ලා ඇවිල්ලා අහලා තියෙනවා අපේ එකෙක්ගෙන්ම
“”මචං මොකක්ද මේ පැයක රේටය කියන්නේ,කොහොමද ඒක දාන්නේ?”
“කියලා.දැන් අර අපේ එකා ඇවිල්ලා වැස්සකට වත් කැම්පස් නොගිය එකෙක් වුනාට අර තමන්ගේ ආයතනයට අලුතෙන් එන එවුන්ව හොඳට රැග් කරලා ගන්න ඕන කියන මතේ ඉන්න එකෙක්.ඒකා කියලා තියෙනවා
“”ආ මල්ලි ඔය කියන්නේ පැයකට ගන්න ගානනෙ.ඔයා ගිහිල්ලා අර accounts එකේ චතුරි මිස් ගෙන් අහන්නකෝ එයා දන්නවා “” කියලා.දැන් ඔන්න රොෂානුත් යනවා චතුරිගෙන් අහන්න මේක.
චතුරි කියන්නේ අපේ accounts එකට මාස 6ට විතර කලින් ආපු කෙල්ලෙක්.කෙල්ල ඇවිල්ලා අර මේකප් නාලා එන ජාතියේ කෙල්ලක්.ලස්සන කඩා හැලෙනවා.අනික අඳින්නේත් හොඳට රෙදි එහෙම ඉතුරු කරලා.ඒ හින්දා දැක්කම කොල්ලෙක්ගේ ගෝලීය උණුසුම ඉහල යනවා ඉබේම.
branch එකේ කොල්ලො දහයක් විතර මේකට ඇණ වුනා ඇවිල්ලා මාස 6ට.අනික මේ කෙල්ලට හොස්ස ලඟින් මැස්සා යන්න බෑ මූලග්ගාය හැදිලා වගේ මල පනිනවා.
ඒ කියන්නේ නියම මිරිස් කරලක්.ලස්සනයි හැබැයි වසයි.
දැන් ඔන්න රොෂාන් accounts එකට ගිහිල්ලා ඇහුවා “” චතුරි මිස් කියන්නේ කාටද?”කියලා.එහෙනුත් පෙන්නුවා ආ අන්න අරෙයා තමයි කියලා.ඔන්න රොෂානුත් ගිහින් ඇහුවා එයාගේ ජීවිතය වෙනස් කරපු ප්රශ්නය.
“”චතුරි මිස්,පැයකට කීයක් ගන්නවද?””
“”චටාස්””
ඊට එහා පැත්තේ හිටපු අපිටත් කනේ තිබ්බා වගේ ඇහුනා චතුරිගේ ආශීර්වාද පූජාව.ඇවිල්ලා අලුත මේ වෙච්ච දේ හිතා ගන්න බැරිව තව කෙල්ලෙකුගෙන් උදේම කම්මුලත් අත ගාවගෙන,බැණුනුත් අහගෙන.අනික accounts එකේ වැඩි හරියක් කෙල්ලො.
හොඳ වෙලාවට අපේ පැත්තෙ හිටිය සදිනි දුවලා ගිහිල්ලා රොෂාන්ව ඇදගෙන ආවා.චතුරි රොෂාන්ව මරන්න කලින්.
පස්සේ සදිනි (මේ කෙල්ල ඇවිල්ලා රත්තරං කෙල්ලෙක් අදටත් අපි දන්න) ඇත්තටම වෙච්ච කතාව හිමීට චතුරිට කියලා තියෙනවා.ඒක අහපු චතුරි ඒ කාර්යාලේදි මුල්ම හා අවසාන වතාවට අඬනවා දැක්ක කියලා සදිනි අපිට කිව්වා.ඊළඟ දවසේ චතුරි ඇවිල්ලා රොෂාන්ගෙන් සමාව ඉල්ලුවා කම්මුල් පාරට.රොෂානුත් සමාව ඉල්ලුවා එච්චර කල්පනා නොකර ඒක ගිහින් අහපු එකට.කොහොමහරි දෙන්නට දෙන්නා සමාව ඉල්ලපු එක කොච්චර හොඳට වැඩ කරාද කියලා කියනවනම් ඊට මාස 3කට පස්සේ රොෂාන් චතුරිව පැයකට නෙවෙයි ජීවිතේටම අයිති කර ගත්තා,නීත්‍යානුකූලවම.