ගණිකාවට ගණිකාවක් ඉරිසියා කරයි.18+Should prostitution be legalized?

ගණිකාව,වරංගනාව,අබිසාරිකාව,රෑ සමනළිය,නගර ශෝබිනිය…මේ හැම වචනයකින්ම පැහැදිලි වෙන්නේ ලෝකේ පරණම වෘත්තිය කරන කාන්තාවන්ව.මේ ලිපිය කියවන්න කියලා පිවිසෙන ඕනම කෙනෙකුට මුලින්ම පුංචි අවවාදයක් දීලම පටන් ගන්න මං කැමතියි.ඒ තමයි මේක පොඩි ලමයින්ට ඒ කියන්නේ හිතින් පොඩි ලමයින්ටත් (ඔය වගේ දේවල් ඇහුවාම බඩ කුරුවල් වෙන අය) අවශ්‍ය දෙයක් නොවේ කියන එක.ඒ නිසා මේක කෙළින්ම 18+.

විවිධ අයට මේ කාන්තාවන් ගැන විවිධ අදහස් තියෙනවා.ගණිකා වෘත්තිය නීති ගත කරන්න ඕන.මේ ඒ ගැන එක් ප්‍රධාන මතයක්.ඒ වුනාට ගණිකා වෘත්තිය නීති ගත කරනවට විරුද්ධව ගණිකාවොම විරෝධතා පෑවොත් මොකකින් මොකක් වෙයිද?

 ලෝක ඉතිහාසය පිරික්සා බලද්දි අපිට පේන එක දෙයක් තමයි කොපමණ වීරයෝ හිටියත් ඒ වීරයෝ බොහෝ දෙනෙක් තමන්ගේ වීර ක්‍රියා,යුධ ජයග්‍රහණ,මන්දිර,රාජධානි,අභිමානය,මේ ඕනම දෙයක් කාන්තාවක් අභියස දූවිලි ගාණට දාලා තියෙනවා කියන එක.ඒක එයාලා කළාටත් වඩා තමන්ගේ අභිමානය විසින් කරන්න බල කලා.ඒ වීරයෝ දිනාගත් සියල්ල මිල මිල වුනේ ගැහැණියක් සතු ප්‍රධානම හා ප්‍රබලතම ශක්තිය වෙත.ඒ නිසාම කාන්තාවකට තමන්ගේ පහස කියන එක කොච්චර හොඳට අලෙවි කරන්න පුළුවන්ද කියන එක මත රාජධානී වල ඉරණම තීරනය කරන්න පුලුවන් වුනා.ඉතින් ගණිකා වෘත්තිය ලෝකේ පරණම රස්සාව වෙන එක අහන්නත් දෙයක්ද?

ඒත් එහෙම ගණිකා වෘත්තියේ යෙදෙන එක සැලකුණේ අසම්මත දෙයක් විදිහට.අපි සමහර සමාජ වල දකිනවා රජවරුන්ට අන්තංපුර තිබුනා කියලා.ඒ වුනාට ඒ තරමටම අපි අහලා තියෙනවද ‍රැජිනියන්ට පිරිමි අන්තංපුර තිබුනා කියලා?රජකෙනෙක් තමන්ට හිතෙන හිතෙන යුවතිය එක්ක යහන් ගත වීම ඓතිහාසිකවූත් වැදගත්වූත් සම්මතයක් ලෙස දකින සදාචාරවාදීන්,යම් කිසි ‍රැජිනියක්,පාලිකාවක්,දේශපාලනඥවරියක් පිරිමි කිහිප දෙනෙකු එක්ක ලිංගික සබඳතා තියන් ඉන්නවා කියන එක මහා පාපයක් ලෙස දකිනවා.ඇයි ඒ?

ඒකට හේතුව තමයි සම්ප්‍රදායික මතය තුල ඉන්න පුරුෂෝත්තම වෙච්ච ලිංගික අසහනය.කෙල්ලෝ දාහක් එක්ක නිදි වැදුන එකත් හොයන්නේ විවාහයට කන්‍යාවක්.

Image

දැන් තමයි නියම හරිය.ගණිකා වෘත්තිය සමාජයකට අවශ්‍යද?ඔව්.ඇත්තටම අවශ්‍යයි.අනිවාර්යයි.ඒක ලෞකික සමාජයක් නම් ගණිකා වෘත්තිය අත්‍යවශ්‍යයි.දැන් මේක කිව්වම ලංකාවේ ඉන්න බඩු වාදී කුහක සදාචාරවාදීන් කලබල වෙන්න ඕන නෑ.හේතුව මෙන්න මේකයි.

මිනිසාගේ මූලික අවශ්‍යතා ආහාර,ඇඳුම්,නිවාස වලින් විතරක් සීමා වෙනවා සම්ප්‍රදායික පාසල් අධ්‍යාපනය තුලදි.ඒත් ප්‍රයෝගික ලෝකය තුල ඒකට සෞඛ්‍ය පහසුකම්,අධ්‍යාපනය,නිදහස,ඒ වගේම විනෝදය වගේ ඒවත් එකතු වෙනවා.මෙන්න මෙතනදි තමයි ලිංගිකත්වය කියන දේ මිනිස් අවශ්‍යතාවක් විදිහට කරළියට එන්නේ.ඒක සාමාන්‍ය ඕනම මිනිසෙක්ට පොදුයි.

සම්මත ලෝකය තුල මිනිසා හදාගෙන තියෙනවා විවාහය කියන බැඳීම ඒ ලිංගිකත්වය කියන දේ ලබා ගන්න.ඒත් විවාහය කියන්නේ දීර්ඝ කාලීන බැඳීමක්.

ආබාධිත පුද්ගලයෙක්,ස්ථිර රස්සාවක් නැති මිනිහෙක් විවාහය කියන සම්මතය තුල ඉඳගෙන තමන්ගේ මේ ලිංගිකත්වය කියන දේට යන්නේ කෝමද?

අනික ගොඩක් පිරිමි ගෙදර කොච්චර කොහොම ඉව්වත් වෙන වෙන හෝටල්වලිනුත් කන්න හොරෙන් හරි යනවනේ.ඉතින් මේ ප්‍රායෝගික තත්ත්වය එක්ක සමාජයකට ගණිකා වෘත්තිය ඕන වෙනවා.මොකද නැත්නම් මේ වෙන වෙන හෝටල්වලින් කන්න යන කට්ටිය හොරා කන්න ගන්නවා.බලෙන් කන්න ගන්නවා.

Image

socialpolis.net

හැබැයි මෙන්න මෙතනදි තමයි හරි ලස්සන වැඩේ වෙන්නේ.සාමාන්‍යයෙන් ගහක ගෙඩි කොච්චර තිබුනත් මිනිස්සු යන්නේ තහනම් ගෙඩි කන්නනේ.එතකොට ගණිකාව කියන දේ සමාජයේ තහනම්,නැත්නම් අසම්මත දෙයක් වෙලා තියෙනවට මිනිස්සු හරි කැමතියි.මොකද එතකොට තමයි තමන් හොරෙන් ගන්න දෙයක් විදිහට වින්දනය කරන්නේ.මේක එලිපිට තිබ්බම සාමාන්‍ය දෙයක් වෙනවා.එතකොට තමන් හොරෙන් කළා කියන වින්දනය අර කුහක සදාචාරවාදීන්ට අහිමි වෙනවා.

එතකොට ගණිකා වෘත්තිය නීතිගත වෙනවා කිව්වම ගණිකාවන්ට බය හිතෙන්නේ ඇයි?

ගමේ හරක් හොරා මරතේලිස්, ගමේ දාන සුපිරි වෙළෙඳසැලේ හරක් මස් විකුණනවා කියලා ඒකට විරුද්ධ වෙනවා.

හේතුව මං මුලින් කිව්ව තත්ත්වය නිසා.තමන් සතු ප්‍රධානම ශක්තිය, තමන්ගේ එකම බලය බවට පත් කරගත් කෙනාට, ඒකම නීතිගත කරලා අනික් අයටත් නම්බුකාර විදිහට දෙන්න අවස්ථාව හදලා දුන්නම තමන්ගේ හොට බිම ඇනෙන හින්දා.

Image

එතකොට එයාට තමන්ව අලෙවි කරන්න අමාරු වෙනවා.මොකද කෙලින්ම ඒක දෙන අය නීතිය තුලම ඉන්න නිසා.අනික අසම්මතය තුල මේක කරපු අයට නීතිගත වෙන්න සිදුවෙන හින්දා තමන්ට ඕන මඟුලක් ඕන විදිහට කරගන්න බැරි වෙනවා.නීතියට අනුකූල වෙන්න වෙනවා.

තමන් නීතියට පිටින් ඉඳගෙන අලෙවි කරපු තමන්ගේ ලිංගිකත්වය,විවෘත වෙළෙඳපොලක හුවමාරුවෙන සේවාවක් වෙන්න ගන්නවා.තමන් අනියමින් බලය පාවිච්චි කරා නම් තමන්ගේ ලිංගික සේවා අලෙවිය නීතියට යටින් ඒත් නීතියට හයිරම් දාමින් පවත්වගෙන යන්න,ඒක තවදුරටත් සුම්මා.

කවුරුහරි නීතිය කඩ කරලා පරණ පුරුදු විදිහ කරන්න හැදුවොත් අර නීතියට අනුගත වෙච්ච කෙනා නීතිය කඩ කරලා අසාධාරණ වාසියක් ගන්න කෙනාට විරුද්ධව පියවර ගන්නවා.

Image

recultured.com

තේරෙන සිංහලෙන් කිව්වොත් නීතිගත වෙච්ච ගණිකා නිවාසය,නීතියට පිටින් යන ගණිකාවට යුද්ධ ප්‍රකාශ කරනවා.හරියට ටවුමේ rest house අයිතිකාරයා හොර room දෙන කෙනා එක්ක තරහයි වගේ.

ඉතින් ලංකාවේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කවුරුහරි කිව්වම ඒකට එරෙහිව පටෝරියං ගා ගණිකාවක් හෝ ගණිකා සංවිධානයක් පිකට් කළොත් පුදුම වෙන්න එපා.එයට බාප්පලා අනුග්‍රහය දැක්වූවොත් එයටද පුදුම විය යුතු නැත.

අන්තිමට මං මේකත් කියනවා.මේක ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනද නැද්ද කියන එක ගැන සංවාදයක් නෙවෙයි.ගණිකා වෘත්තිය නීතිගත කරනවට එරෙහිව ගණිකාවන්ම විරෝධය පෑමට ඇති හැකියාව කියන එකයි කියලා තියෙන්නේ.