ගහන ගැහිල්ල.Shylock today

නිවටයා දැක්කම එලුවත් ‍රැවුල පානවා කියන්නේ අපි අතර තියෙන ආප්තෝපදේශයක්.ඒකේ තේරුම තමයි අවස්ථාව ආපුවාම ඉතාම නොවැදගත් පුද්ගලයා වුනත් අසරණ නැත්නම් පීඩිතයාගෙන් වාඩුව ගන්න හදනවා කියන එක.එතනදි තමන්ට ඒ වින්දිතයාගෙන් විපතක් වුනාද කියන එක අදාළ නෑ.දෙන්න පුලුවන් වෙලාවේ දෙනවා බැෂ්ටිය අතීසාරයට ජාපාල ගැහුවා වගේ වෙන්න.

ලංකාවේ මේ වැඩේ හරි ලස්සනට කරන පිරිස් තමයි නීතීඥවරු,පොලීසිය,එතකොට දේශපාලඥයො.

ඒ හැමෝම තමන් ගාවට උදව්වක් සමහරවෙලාවට ඒක රාජකාරියක්,මුදල් දී ලබා ගන්න  සේවාවක් වුනත් තමන් ගාවට එන මනුස්සයා අසරණ නැත්නම් එච්චර දෙයක් නොතේරෙන කෙනෙක් කියලා තේරුම් ගිය ගමන් ඒ මනුස්සයා හූරගෙන කන්න පටන් ගන්නවා.

අද මං කියන්න යන්නේ වෘත්තීමය විදිහටම මේ වැඩේ ලංකාවේ කොරන උන්දැලා වගයක් ගැන.මෙයාලා මේ වැඩේ කරන්න සියවස් ගණනක් තිස්සේ ප්‍රසිද්ධයි.අනික නීතියෙන්ම මේ වැඩේ කරන්න අවශ්‍ය ප්‍රතිපාදන හදලා දීලා තියෙනවා.

ඒ තමයි බදු නිලධාරීන්.මෙයාලට කවුරු හරි මනුස්සයෙක් අහුවුනා කියන්නේ හිඟන්නට මී වදේ අහුවුනා වගේ තමයි.පැනි ටික බීලා කිරි වදවලටත් වැඩේ සෙට් කරලා අන්තිමට වදේ මිරිකලා මී ඉටිත් ගන්න වැඩ තමයි කරන්නේ.

ඔයාලට මතක ඇති 2002 විතර ලංකාවට අලුත් බද්දක් හඳුන්වාදෙනවා.ඒ තමයි එකතු කළ අගය මත බද්ද.VAT.කලින් තිබ්බ භාන්ඩ හා සේවා බද්ද අහෝසි කරලා තමයි මේක පැනෙව්වේ.මේ බද්ද,VAT සෑහෙන න්‍යයාත්මක පැත්තක් තියෙනවා.බදු පදනම,සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්න අරවා මෙව්වා ගොඩක්.මං එව්වා මෙතන ලියන්න යන්නේ නෑ.

Image

මොකද ඔය බදු නීති කියන්නේ රෑට නින්ද යන්නේම නැත්නම් කියවන්න තියෙන මහා හෑල්ලක්.පොත් ටික අත් උඩ තියාගෙන නින්ද යනවා ෂුවර්.කොහොමහරි කතාවට ආවොත් මේ බද්ද පනවන්න කලින් පාර්ලිමේන්තුවේ විවාදය යන අතරතුර ඇම්ඩන් කඩ හිමියෙක් දුන්නා රජ වැඩක්.

මිනිහා ආ අලුත් බද්දක් ආවා කියලා වහාම මිනිහගේ කඩේ (මට මතක හැටියට බේකරියේ) සියලුම නිෂ්පාදනවල මිල අර බදු ප්‍රතිශතයෙන් ඉහල නැග්ගුවා.

මතක තියාගන්න තවම පාර්ලිමේන්තුවෙන් බද්ද අනුමත වෙලත් නෑ.ඒත් කෑම මිල ඉහල දාලා.අනික මෙයාගේ බේකරිය ලංකාවේ අදටත් ඉහල නාමයක් සහිත ආයතනයක්.ඔන්න දවසක් ඉතින් මේ කඩෙන් ඔය උදේට කන්න බනිස්,මාලු පාන් වගයක් ගන්න එනවා එක පොරක්.

පොර කඩේට එන්නේ නිකං කොට කලිසමක් ඇඳන් හරියට අර සකලබුජං වගේ.ඒ වුනාට ලොකු ගැෂ්ටෙක්.ඔන්න ඉතින් පොර ඇවිල්ලා බඩු ගත්තම කලින් ගත්තට වඩා මිල වැඩි වෙලා.

පොර ඇහුවා ඇයි මේ හදිසියේම ඇයි මිල නැග්ගේ කියලා?

කඩේ ඉන්න අයත් (මේ ඇවිල්ලා අර ගෝලයො කියන කට්ටිය) අයිතිකාරයා කිව්ව විදිහටම කිව්වා ආ අර VAT බද්ද පණවලානේ,ඒ හින්දා මිල නැඟලා කියලා.

පොර කිව්වා “”ආ ඇත්තද මං දන්නේ නෑනේ.මට ඒක දාලා පොඩි බිලක් දෙනවද මොකද අපේ ගෙදර මහත්තයා බලයි මං ඉතුරු සල්ලි අරගත්තද?”” කියලා පොර අර කඩේ අයට කිව්වම කඩේ අයත් කඩේ බිලක් කඩලා දුන්නා.මතක තියා ගන්න සීල් එකත් ගහලයි දුන්නේ.

ඔන්න ඉතින් ටික දවසක් ගෙවීගෙන ගියා.පාර්ලිමේන්තුවේ බද්ද අනුමත වුනා.හරියටම ඊට පහු වෙනිදා රටේ සියලුම මේ බේකරි කඩේ ශාඛා වැටලුවා,

මොකෙන්ද පොලීසියෙන්ද?

නෑ.ආදායම් බදු එකෙන්.මොකද, අර ආපු පොර ආදාය්ම් බදු එකේ ලොක්කෙක්.

බද්ද අනුමත වෙන්න කලින් බද්දක් මිලට එකතු කරන්න බෑනේ.මිනිහා මේ බේකරි හිමියාගේ ඇම්ඩන් වැඩේ ඔප්පු කරන්න දෙන ප්‍රධානම සාක්ෂිය අර ඉල්ලගත්ත බිල.ආදායම් බදු එකේ නිලධාරින්(මෙයාලම තමයි VAT ගැනත් බලන්නේ)දුන්නා වැඩේ ලස්සනට.

Image

1බද්ද අනුමත වෙන්න කලින් බද්ද මිලට එකතු කරලා තියෙනවා.ඒක නීති විරෝධියි.ඒකට දඩ ගැහුවා.

2බද්ද අය කරන්න නම් බද්ද අය කිරීමට ලියාපදිංචි වෙලා ඉන්න ඕනේ.ඒක මෙතනදි වෙලා නෑ.ඒකට දඩ වලට අමතරව ලියාපදිංචි ගාස්තුවත් ගෙවන්න වුනා.

3මේ ව්‍යාපාරය ඒ කාලේ තිබ්බ විදිහට මේ බද්දට ඇතුලත් නෑ.ඉතින් බදු අය කරපු එක නීති විරෝධියි.ඒකට වෙනම දඩ.

4හරි හෝවැරදි හෝ බදු අය කරලා තියෙනවා.එහෙනම් ප්‍රමාද ගාස්තු එක්කම එකතු කරපු බද්ද ගෙවන්න වුනා.

Image

shakespeare.about.com

 

කොහොමද ආදායම් බදු එකේ වැඩ?මේ වගේ දෙයක් වුනාම සනීපයිනේ?

ශේක්ස්පියර් අද හිටියා නම් වැනීසියේ වෙලෙන්දා නාට්‍යයේ ෂයිලොක් වෙනුවට දාන කෙනා හිතා ගන්න පුලුවන්නේ.

Tax officers’ strategies/බදු ගහන්නේ මෙහෙමයි

සල්ලි,දෙවියන්ගේ මල්ලි.සල්ලි පොදි  ගහගන්න ගොඩක් අය කැමතියි.මොකද සල්ලි කියන්නෙත් එක්තරා බලයක් හින්දා.ඒ හින්දා තමන් සල්ලි කාරයෙක් කියලා පෙන්නන්න එහෙම නොවන අය වගේම එහෙම අයත් ගොඩක් උත්සාහ කරනවා.

Image

restaurantmagazine.com

ඒ වුනාට ඔය කොයි සල්ලි කාරයත් වැඩිපුරම බය කට්ටියකුත් ඉන්නවා.ඒ ආදායම් බදු නිලධාරින්.

මොකද සල්ලි ගෙවලා කෑවොත් අඩු ගානේ බඩට.ඒ වුනාට බදු ගෙව්වොත් නිකන්ම සල්ලි යනවා විතරනේ.ඒ බදු වලින් රට නග්ගනවා කිව්වට කාටද ඒ ගැන විශ්වාස තියෙන්නේ?ඉතින් මේක දන්න හින්දම ඔය ආදායම් බදු එකේ කට්ටිය එක එක විදිහේ ජිල් මාට් දානවා අර බදු නොගෙවා ඉන්න ජිල් මාට් දාන අයගෙන් කොහොමහරි  ඒක කඩා ගන්න.අද මං කියන්නෙත් ඒ වගේ වෙච්ච සෙල්ලමක් ගැන.

Image

lessgovsd.com

ඔන්න දවසක් ඔය ආදායම් බදු එකේ කට්ටිය කුරුණෑගල පැත්තේ එක්තරා මුද්‍රණ ආයතනයකට ගොඩ වැදිලා තියෙනවා මිනිහගෙන්,ඒ කියන්නේ අයිතිකාරයගෙන් හොඳ බදු කුට්ටියක් කඩා ගන්න.

ඉතින් මේ පාර ආදායම් බදු එකේ කට්ටිය පරීක්ෂා කරන්නේ මේ ආයතනයේ අලෙවි ආදායම.ඒකට එයාලා ඉන්වොයිසි පරීක්ෂා කර කර බලනවා.ඔන්න හදිසියේම එයාලට හම්බවෙනවා හරි අපූරු ඉන්වොයිසියක්.

ඒක මංගල ඇරයුම් පත්‍ර මුද්‍රණය කරපු එකකට ගෙවපු එකක්.සාමාන්‍යයෙන් මේ ආයතනයේ මංගල ඇරයුම් පත්‍ර මුද්‍රණය කරන හින්දා ඒක එච්චර පුදුමයක් නෙවෙයි.ඒත් ගැටලුව මේකයි.

Image

etsy.com

ඇරයුම් පත්‍ර 400 විතර මුද්‍රණය කරලා.

සම්පූර්ණ වියදම රුපියල් 4,000,000/=.

ඒ කියන්නේ ලක්ෂ 40යි.එක ඇරයුම් පත්‍රයකට රුපියල් 10,000/=.

ආදායම් බදු කට්ටිය වහාම එතන වැඩ නැවැත්තුවා.ඒ බිල ගෙවපු ගනුදෙනුකරුවගේ තොරතුරු එතනින්ම ගත්ත නිලධාරීන් වහාම හොයාගෙන ගියේ අර ගනුදෙනුකාරයාව.කවුද එයා?

ලංකාවේ කුරුණෑගල පන්ති කරන දැවැන්ත ධනවතෙක්.මිනිහගේ විවාහ මංගල්‍යයට තමයි මෙච්චර වියදමක් කරලා මංගල ඇරයුම් පත්‍ර මුද්‍රණය කරලා තියෙන්නේ.අනික මිනිහා ආදායම් බදු ගෙවන්නේ නෑ කියලා දැන ගත්තම ආදායම් බදු නිලධාරීන්ගේ කට කනේ.

වහාම හැදුවා මිනිහගේ අතීතයටත් බලපාන පරිදි ආදායම් බදු වගකීම.දඩ මුදලුත් එක්කම.ආසන්න වශයෙන් ලක්ෂ 80 විතර කුට්ටියකට මිනිහට තට්‍ටුවෙන විදිහට නිලධාරීන් වැඩේ කළා.මේක අරගෙන අර ටියුෂන් සර්ට කලන්තේ හැදෙන විදිහට පන්තියටම ගිය නිලධාරීන්ගේ මහා වරුණාව අහන් ඉඳපු ඒ සර්.

ආ දැන් මං කීයද ගෙවන්න ඕනේ,ලක්ෂ 80නේ.ආ අරං යන තැනක තොලොංචිවෙයල්ලා කියලා එතනදිම චෙක් පතක් ලියලා දුන්නා.මොකද මිනිහට එච්චරම සල්ලි.

Image

මේ කතාව අපි දැන ගත්තේ කොහොමද කියලා නම් අහන්න එපා.නමුත් අවාසනාවකට වගේ එකකට රුපියල් 10,000 වියදම් ගිය මංගල ඇරයුම් පත්‍රය බලා ගන්න අපිට බැරි වුනා.

ඉතින් මේක බලන අයට මං කියන්නේ මේකයි.ඔයාලා ආදායම් බදු ගෙව්වා හෝ නොගෙව්වා හෝ තමන්ගේ නම ගම දුරකථන අංක එක්ක බිල් දාද්දි ගොඩක් පරිස්සමින්.

විශේෂයෙන්ම ඔය ලොකු ලොකු ගණන් වල බිල් දාද්දි.ඒක බලන ආදායම් බදු අංශයට විතරක් නෙවෙයි හොරෙකුට වුනත් ඔයාට ටොපියක් දෙන්න ඒක ඇති.

ඔයාලා ඔය රත්තරං බඩු කඩවලින්,එතකොට ගණන් සාරී එහෙම ගන්න කොට එයාලා ඔයාගේ visiting card ඉල්ලනවනේ.එතකොට වඩාත් පරිස්සම් වෙන්න.ඒ ආයතනය හොඳ හිතින් ඉල්ලනවා වෙන්න පුලුවන්.ඒත් ඒක කාගේ අත් වලට යයිද කියලා එයාලවත් දන්නේ නැති වෙන්න පුලුවන්.