කේන්දර පලිය why marriages break? failure of astrology?

සුනිල් පෙරේරා කියලා කියන්නේ ලංකාවේ අතිශය විවාදාත්මක චරිතයක්.එයාට වැඩිය ලොකු කලාකාරයො කොච්චර ලංකාවේ හිටියත් තමන් කියන කරන බොහොම පොඩි දෙයකින් ලොකු සමාජ කැළඹීමක් කරන්න පුලුවන් කෙනෙක්.එයාගේ අතිශය ප්‍රසිද්ධ ගීතයක් තමයි “” I don”t know why හෙවත් එහෙම වෙන්නේ ඇයි කියන ගීතය.මේකෙන් ලංකාවේ අපි හැමෝම දන්න,එහෙම නැත්නම් දන්න ඒත් පවත්නා සමාජ සම්මතය ඇතුලෙදි අපි ප්‍රශ්න නොකරන සිද්ධීන් ගණනාවක් මෙයා වේදිකාවක කෑගහලා අහනවා.

දේශපාලකයො සින්දු කියන,සින්දු කියන අය රඟපාන,රඟපාන අය වලත්තකම් කරන,වලත්තකම් කරන උන්ට උපාධි දෙන,ඒ උපාධි ගන්න මහ ආචාරිලා හිච්චි කෙල්ලො එක්ක බුදියගන්න තරමට දැකුම් දෙන රටේ මේ කොහෙවත් ඉන්න බයිලා කාරයෙක් විදිහට ලංකාවේ ප්‍රබුද්ධ සංගීතය තුල සලකන,විදග්ධ සංගීතය තුල රස්තියාදුකාරයෙක් වෙන මේ සුනිල් පෙරේරා ලංකාවේ අද පවතින සම්මතය ප්‍රශ්න කරලා ගිනි කූරක් ගහපු ගමන් ලංකාවෙ ඉන්න හනුමන්ලා ටික තම තමන්ගේ වලිග පුච්චගෙන ගිනි සිසිල කරන්න ගන්නවා.

ඉතින් අන්තිමට ලංකාව තුල සුනිල් පෙරේරා දේශපාලකයෙකුට වඩා දේශපාලකයෙක් වෙනවා.එයාගේ භාවිතය හින්දා.

කොහොමහරි අද මං කියන්න යන්නේ මේ සුනිල් පෙරේරාගේ අර I don’t know why ගීතයේ එන එක් ප්‍රශ්නයක් ගැන.ඒ තමයි ඔහු මේ ගීතයේ අහන ජෝතිශ්‍ය ප්‍රශ්නය.

හොයලා බලලා කරන මඟුල් කැඩිලා යනවා,ඒ වුනාට පැනලා යන මඟුල් හරියනවා,මෙහෙම වෙන්නේ ඇයි?

ඇත්තටම ඒක හරි අපූරු ප්‍රශ්නයක්.මොකද ලංකාවේ අද වෙනකොට පුදුමාකාර ජෝතිෂ්‍ය උන්මාදයක් යන වෙලාවක්.ඕනම රූපවාහිනී නාලිකාවක උදේට යන වැඩසටහන්,විශේෂයෙන්ම අර කාන්තා වැඩසටහන් කියන එව්වයේ එක එක විදිහේ ජෝතිෂ්‍ය වැඩර්ලා ජිල්මාට් පෙන්නනවා.ලෝකේ සාමාන්‍යයෙන් ඕනම දේශපාලකයෙක් මේ වගේ ගුප්ත දේවල් පස්සේ යන එක සාමාන්‍ය දෙයක්.ඒ වුනාට අද හරි පුදුමාකාර විදිහට මේක ඔලුව උඩ තියාගෙන.

මොක වුනත් ඇත්තටම ඇයි මේ මෙච්චර හොයලා බලලා කරන මඟුල් කැඩිලා යන්නේ?තේරෙන සිංහලෙන් ඇහුවොත් ඇයි මේ කේන්දර බලලා කරන මඟුල් කැඩිලා යන්නේ?

සුනිල් පෙරේරා කියන විදිහට ග්‍රහයො නීච වෙලාවත්ද?

ඇත්තටම එක විදිහකට ග්‍රහයා නීච වීමක් තමයි.

වෙන මොන ග්‍රහයෙක්වත් නෙවෙයි අනවශ්‍ය විදිහට කේන්දර ඔලුව උඩ තියාගත්ත ඒත් මේ ගැන විවෘත මනසකින් බලන්න බැරි මිනිස්සුන්ගේ හිත් නීච වීම තමයි හේතුව.

ලංකාවේ ගොඩක් අය හිතනවා කේන්දර දෙකක් ගලපනවා කියන්නේ ඒ කේන්දර දෙක අරං ඒවයේ අර පොරොන්දම් 20 එහාට මෙහාට දාලා ප්‍රතිශතයක් විදිහට ගලපන එක කියලා.ඒ කියන්නේ පොරොන්දම් 20න් 15ක් ගැලපෙනවා නම් 75% ගැලපෙනවා කියලා සමහර අති පණ්ඩිතයො හිතනවා.

වැදගත්ම දේ,කේන්දර දෙකක් ගලපනවා කියන්නේ පොරොන්දම් ගලපන එක විතරක් නෙවෙයි.ඔයාට පංචාග ලිතක් අරගෙන ඒක කියවන්න තරම් අකුරු ඉගෙනගෙන තියෙනවානම්,මූලික ගණිත කර්ම සාමාන්‍ය තරමකින් දන්නවා නම්ඔයාට පොරොන්දම් බලන්න පුලුවන්.අනික ඒ වගේම අද ඔයාලට අන්තර්ජාලයෙන් නොමිලෙම පොරොන්දම් ගලපලා ගන්න පුලුවන්.ප්‍රධානම දේ පොරොන්දම් 100% ගැලපුනත් ඒ කේන්දර දෙක කසාද බඳින්න ගැලපෙන්න බැරි වෙන්න පුලුවන්.ඒ හින්දා කවදාවත් පොරොන්දම් ගැලපිච්ච පලියට ඒ දෙන්නා හරියට ගැලපෙනවා කියලා කියන්න එපා.

දෙවන කාරණය.කේන්දර දෙකක් ගලපනවා නම් ඒ දෙකේ ග්‍රහ පිහිටීම් අමතක කරන්න එපා.මොකද තේරෙන සිංහලෙන් කියනවානම් දෙන්නෙක් එකට ජීවත් වෙද්දි මුහුන දෙන තත්ත්වයන් පොරොන්දම් වලටත් එහා ගිය විදිහට පෙන්නලා දෙන සටහන තමයි  ඒ දෙන්නගේ කේන්දර සටහන.ඒ ගැන මහා විග්‍රහයක් කරන්න ගියොත් මේක ලියන මටවත් නොතේරෙන මට්ටමට එන හින්දා සරල උදාහරණයකින් කියන්නම්.

හිතන්න අති ධාවන කාම යෝගයක් තියෙන කෙනෙක්,උපාසකයෙක් වගේ තියෙන කෙනෙක්ව බැන්දොත් වෙන්නේ මොකක්ද?( මේ වගේ ඒවට මං කියන්නේ නම් කසාදයට හොඳයි,වටේ පිටේ අයට ඊටත් වඩා හොඳයි කියලා)

 

ඒත් මේ හැම දේටම එහා ගිය තව දෙයක් තියෙනවා.ඒ තමයි කේන්දරය කියන්නේ ජීවිතය නෙවෙයි කියන එක.නමුත් ඒකට තමන්ට අවශ්‍යනම් මඟපෙන්වීමක් කරගන්න පුලුවන්.

කසාදයකට බාධා එන්න මොනවද ඕන කියලා දැන ගන්න කැමති අය ඉන්නවා නම් unfaithful වගේ චිත්තරපටියක් බලලා අවබෝධ කර ගන්න පුලුවන්.

ඊට පස්සේ එතකොට ඇයි හඳපානේ පැනලා යන මඟුල් හරි යන්නේ?

ඇත්තටම  පැනලා යන මඟුල් හැම එකක්ම හරි යන්නේ නෑ.කැඩිලා යන ඒවත් තියෙනවා.බොරු නම් ඔබ දන්නා හඳුනන නීතිඥවරයෙක් ඉන්නවනම් දික්කසාද නඩු කතා කරන, එයාගෙන්ම අහගන්න පුලුවන්.

හැබැයි මෙන්න මෙහෙම එකකුත් තියෙනවා.ඔය පැනලා යන්නේ හරිම අමාරුවක් තියෙන,ඉවසං ඉන්න බැරි අය කියලා හිතුවොත් ඒ අයගේ කේන්දරවල ගොඩක් වෙලාවට සිකුරු ග්‍රහයා බලවත්ව ඉන්නවා වෙන්න පුලුවන්.ඉතින් සිකුරු ග්‍රහයාගේ අතිශය බලවත් වීමක් තිබුනොත් අඩුම ගානේ ඒ දශාව තුලවත් යම් විදිහකට අනික් නරක බලපෑම් යට වෙන්න පුලුවන්.

ප්‍රධානම දේ, කේන්දර කියන්නේ මිනිස්සුන්ගේ ජීවිතයට බලපාන එක දෙයක් විතරයි.ඔයා ජෝතිෂ්‍ය විශ්වාස කරනවා නම් ඒක ඔයාගේ විශ්වාසය.අපි දැන ගන්න ඕන කේන්දරය දිහා බලලා ඒක එක්ක සටන් කරන්න.ඒත් ලංකාවේ අද ඉන්න (ඉස්සරත් ඉඳලා තියෙනවා වෙන්න පුළුවන්) ජිල්මාට් කාරයෝ ඒදේ මිනිස්සුන්ට හරියට කියනවද??????

(මෙම පෝස්‍ටුව සඳහා තාක්ෂණික කරුණු ගවේෂණයේදී පියසේන රතුවිතාන මහතාගේ “ඔබේ කේන්දරයේ හත” නම් පොත ඉවහල් කරගන්නා ලදී.)

eat and die,කාපල්ලා, කාලා නැහිය

මේක ලියද්දිම ඔය බත් කඩ,සයිවර් කඩ,කොත්තු කඩ,දුවන ගිරි වලින් කන අයට මේක බලන්න  එපා කියලා දාන්න මට හිතුනත් අද එහෙම අය හොයා ගන්න එක පට්ටම අමාරු හින්දා අමුවෙන්ම මේ කතාව ලියලා දානවා.හැබැයි රජෝ මේක කියවලා නිකං බඩ කැරකිලා අඹරාගෙන නිකං පෙරළාගෙන එනවා නම් මේක කියව කියව ඉන්න එපා යන්න සුදුසුම තැනක් හොයා ගෙන දුවන්න හොඳේ.ඉතින් අද මං කියන්න යන්නේ ලංකාවේ කෑම ව්‍යාපාරයේ නැත්නම් ඒ ආශ්‍රිත සැපයුම් ඒ කියන්නේ උයන්න පිහන්න ගන්න බඩු ආශ්‍රිත වෙළෙඳාමේ යන ජිල් මාට් ගැන.සමහර ඒවා නම් නොසැලකිල්ල නැත්නම් ලේසියට කරන ඒවා.මොක වුනත් අන්තිමට වෙන්නේ කන එකාට බඩ සුද්ද වෙන්න බේත් බිව්වා වගේ වැඩ.මුලින්ම පටන් ගන්නම්කො කුස්සියෙන්ම.

Image

flicker.com

ඔය කඩ වල සාමාන්‍යයෙන් මාලු හොදි,මස් හොදි,බිත්තර හොදි කියලා වෙනම හොදි හදන්නේ නෑනේ.ඒ ගොල්ලො කරන්නේ මස් කෑලි,මාලු කෑලි වෙනම ගන්නවා.ඊට පස්සේ අර අයින් කරන ඒවා අයින් කරන එක.ඒ වුනාට සමහර ඇම්ඩන් කඩවල එව්වා අයින් කරන්නේ නෑ.ඒවා දාලා වෙනමම එක හොද්දක් හදනවා.ඊට පස්සේ අපි මාලු ඉල්ලුවම ඒ හොද්දට මාලු කෑල්ලක් දාලා ගේනවා.මස් ඉල්ලුවොත් මස් කෑල්ලක් දාලා ගේනවා.කවමදාවත් අර හොද්ද හදන කල්දේරම යට තියෙන එව්වයින් ගන්නෙ නැති හින්දා අර එව්වා අහු වෙන්නේ නෑ.

Image

enforex.com

ඊ ගාවට පරිප්පු හොදි.ඇත්තටම කඩවල අල හොදි පරිප්පු හොදි වෙනම හදන්නේ නෑ.ඒකනම් කමක් නෑ.ඒ වුනාට ඔය හොද්ද හදද්දි කරන ජිල් මාට් එකක් තියෙනවා.ඒ තමයි හොද්දෙ උකු බව ගන්න එක.ඇත්තටම මේකෙන් අඩු වියදෙමෙන් ලොකු හොද්දක් හදා ගන්න පුලුවන්.ඒ තමයි අර හොදි කල්දේරමට පාන් පිටි දාපු ගෝනියක් හිමීට බස්සන එක.ඒක දාලා උඩට ගන්නවා.

(මතක තියා ගන්න ගෝනියේ යටට විතරයි පිටි තියෙන්නේ හොඳේ)

ඉතින් හොද්ද හොඳට උකු වෙනවා.ඉතින් ඔහොම වුනාට හදිසියේම කඩේ වැඩිපුර හොදි ඉල්ලනවා,දැන් හොදි මදි.මොකද කරන්නේ ගෙනත් දානවා ලි‍ඳෙන් වතුර බාල්දියක්.

ඔය ලිඳ බැරිවෙලාවත් වැසිකිළිය ගාව තියෙන එකක් නම් ඒ කඩෙන් කන අයට දෙවියන්ගේම පිහිටයි.මොකද වැස්ස කාලෙට ලිඳේ ජල මට්ටමයි අරකේ මට්ටමයි සමාන වෙනවා.

ඒ වගේම අපි කන ඒවට දාන ඔය අඩුම කුඩුම වලටත් හොඳම ඒවා දානවා.ඒ කියන්නේ මිරිස් කුඩු වෙනුවට ගඩොල් කුඩු,ගම්මිරිස් වෙනුවට ගස්ලබු ඇට,තුන පහ වෙනුවට පුන්නක්කු දාන තැන් තියෙනවා.ඒවා ඉතින් ගොඩක් අය දන්න ජිල් මාට්.

Image

wired.com

ඔය වගේ ජිල්මාට් එකක් දාන්න ගිහින් ඒ කියන්නේ බිත්තර තම්බපු වතුරෙන් නූඩ්ල්ස් තම්බන්න ගිහින් පහුගිය කාලේදි ජරමරයක් වුනා මතකත් ඇති.

අපි මේකට විසඳුමක් විදිහට ගොඩක් වෙලාවට කරන්නේ ඔය ලොකු ලොකු නම් තියෙන තැන් වලින් ලොකු ගානකට කන එක වුනත් ඒ වගේ වුනත් අවදානමක් තියෙනවා.

දවසක් අපි සරසවියේ ඉගෙන ගනිද්දි ලමයෙක්ගේ උපන්දිනයක් සමරන්න කියලා ලංකාවේ බේකරි ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන පියා සහ පුත්‍රයො ආයතනයකින් කේක් එකක් ගෙන්න ගත්තා.මොකද අපේ සරසවියට ආසන්නම බේකරියවුනේ ඒක.

අපි සාමාන්‍යයෙන් කේක් එකක් අහුවුනාම ඕක සෞම්‍ය සාන්ත දාන්ත විදිහට කන්නේ නෑ.පැන්න ගමන් කඩාගෙන කනවා.ඒ වුනාට මේක අර ගෑනු දරුවකුගේ උපන්දිනයක් හින්දා එතුමිය කැමති වුනේ නෑ අපි එහෙම කරනවට. ඉතින් අර පිහියක් එහෙම අරගෙන කපද්දි එක තැනක මෙන්න පිහිය හිර වෙනවා.බලද්දි තියෙනවා බෝන්ස් තෑගි.

“”බ්ලේඩ් එකක්””

Image

londonbaking.com

සමහරවිට පිටි අනපු අයියා අපිට කේක් එක කපන්න ඕන වෙයි කියලා බ්ලේඩ් එකකුත් එව්වාද දන්නේ නෑ.මොක වුනත් මේක දැකලා තරු පෙනිච්ච අපි ටික දවසක් යන කම්ම අර කඩා පැනීමේ හමුදා ආහාර ගැනීම නැවැත්තුවා.

දැන් මේක බැලුවම මොනවවත් කන්න බැරි වෙනවා කියලත් හිතෙන්න පුලුවන්.මොනවා වුනත් කියන්න වෙන්නේ අර ජීවත් වෙන්නේ කන්න කියන එක මතක තියා ගන්න එක.මොකද ජීවත් වෙන්නේ කන්න හින්දා තව කන්න දේවල් තියෙනවා කියලා හිතේ තියාගෙන කන්න වෙනවා.

මෙන්න මෙහෙමයි හොර වැඩ කරන්නේ.

ඔය හොර වැඩ,මගෝඩි වැඩ කියන්නේ සමහරුන්ගේ ජාන වලම තියෙන දේවල්නෙ.අද මං කියන්න යන්නෙත් ඒ වගේම හොර මගෝඩි වැඩක් කරන විදිහ ගැන.ඇත්තටම මේක මේ මං හොයා ගත්ත දෙයක් නෙවෙයි,මීට අවුරුදු ගාණකට කලින් ලංකාවේ ගොයියෝ කරපු ජිල්මාට් එකක්.

Image

මේ වැඩේ ගොඩක්ම වෙලා තියෙන්නේ 1970  ගණන් වල. ඒ කාලේදි සමූපකාර වල මේ වැඩේ රජට වෙලා තියෙනවා. මොකද සියලු සැපයුම් ද්‍රව්‍ය බෙදා හැරීම සමූපකාරය මඟින් වෙච්ච නිසා අදට වඩා සමූපකාරවල භාණ්ඩ ගොඩක් තිබිලා තියෙනවා වගේම අද තරම් විගණන කටයුතු දියුණු වෙලා තිබුනේ නෑ.(අදත් සමූපකාරවල බාන්ඩ ඉන්නවා,ඒවා නෙවෙයි මේ)

අ‍ටුවා ටීකා ටිප්පනි නැතිව කෙලින්ම කතාවට බහිමුකො.වැඩේ සිද්ධ වෙන්නේ මෙහෙමයි.ඔය සමූපකාර පොඩි ගම්වල තියෙන්නේ කුඩා මඩු විදිහට(ඒ කාලේ හොඳේ….).ගොඩක් වෙලාවට වහලෙට දාලා තියෙන්නේ පොල් අතු.මෙව්වා පරීක්ෂා කරන්න එන්නේ කාලෙකට වතාවක් හින්දා මැනේජරයා හොඳ ජිල් මාට් එකක් දානවා.මිනිහා සරලව කිව්වොත් බඩු හොරකම් කරනවා.ඒ කියන්නේ වාර්තා අනුව තියෙන බඩු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් තියාගෙන මිනිහා ඉතුරු බඩු ටික ගෙදරට උස්සන් යනවා.අදාල ප්‍රාදේශිකයෙන් මේ සමූපකාර කඩේ බලන්න එනවා කියලා මිනිහා කලින්ම දැන ගන්නවා එහෙන්.(ඒකට අපි කියන්නේ දුස්සන්ධානය කියලා).ඊට පස්සේ ඊට දවස් කීපෙකට කලින් මිනිහා රෑ වෙනකන්ම කඩේ ඇරගෙන ඉන්නවා.ඊට පස්සේ තමයි සෙල්ලම පටන් ගන්නේ මිනිහා රෑ බෝ වුනාට පස්සේ පරණ ගෝනියක් අරගෙන කඩේ ඇතුලේ බිම එලනවා.ඒක භූමිතෙල් වලින් පොඟවනවා.පස්සේ ටිකක් උස ඉටි පන්දමක් අරන් ඒක පත්තු කරලා පස්ස දොරෙන් ගෙදර යනවා.

Image

දැන් මිනිහා ගෙදර ගියාට පස්සේ වහලා තියෙන කඩේ ඇතුලේ ඉටි පන්දම පත්තු වෙලා කොයි වෙලේ හරි ගිනි ගන්නවා.ඔය ඩොටවල් වල ඒ කාලේ පාරේ රෑට බලු බල්ලෙක්වත් නෑනේ.ඉතින් කඩේට වැඩේ සිද්ධ වෙනවා.දැන් කඩේ බලන්න ආවට වැඩක් නෑ ඔක්කොම ගිනි අරන්.හොරකම් කරපුවා කොහේ හොයන්නද?

හැබැයි මේ වැඩේ දිගටම කරන්න බෑ.ඒ වගේම මේක කියවන කවුරුහරි  ව්‍යාපාරිකයෙක් ඉන්නවනම් මේක අල්ලන්න ක්‍රමයකුත් මං කියන්න ඕනනෙ.ඒකට තමයි කඩා පැනීමේ හමුදා ක්‍රමයට ගිහිල්ලා තොග පරීක්ෂා කරන්නේ.

Image

මේ වගේ තව හොර වැඩ මේකෙන් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න.