ගමේ කෙල්ල හා බැලේ නැ‍ටුම.Ballet dance in Sri Lanka????????????

සමහර දේවල් තියෙනවා අන්තිමට හොඳ කරන්න ගිහිල්ලා අපි අපිවම බයිට් කර ගන්න.පහුගිය දවසක මේ මංතුමාටත්  වඳින්න ගිය දේවාලයක් ඉහේ කඩාගෙන වැ‍ටුනානේ.

අපේ ගෙවල් ගාව අලුතින් බෝඩිමක නවතින්න ආවා ඉටිකිරිස් යුවතියක්.මට වඩා අවුරුදු 3-4 විතර බාලලු.මමත් ඉතින් ඒ ළඟ පාතින් යන එන ගමන් ඒ පැත්තට රබර් ඇහැ දාලා බැලුවා මොකද අර බයිබලෙත් කියලා තියෙනවලුනේ “අසල්වැසියාට ප්‍රේම කරන්න “කියලා.

කෙල්ල නම් ලස්සනයි.හැබැයි ඒක ග්‍රාමීය ලස්සනක්.ඒ කියන්නේ අර ගැමි ළඳක්.කෙල්ලට අපේ පැත්තේ ඉස්කෝලෙක ගුරු පත්වීමක් හම්බවෙලා.ඒ කියන්නේ ඇය ගුරුවරියක්.(කොහොමත් ඔය මිස්ලට කොල්ලො හරි මනාපයිනේ,මොකද එයාලා හැමදාම කියන්නේ ඊයේ නවත්තපු තැනින් අද ආයි පටන් ගමු කියලනේ)

කොහොමින් කොහොමින් හරි මේ යුවතිය එක්ක බාසාව දාගන්න මට පුළුවන් වුනා.මොනවා වුනත් මේ කෙලි පැටික්කි අර නියම ග්‍රාමීය විදිහට හැදිච්ච කෙල්ලක්.යම් විදිහකට කිව්වොත් හද්ද ඩොටේක හැදිච්ච වැඩිච්ච කෙල්ලක්.එක පාරට කතා නොකරත් මට මං දන්න ජිල්මාට් දාලා කෙල්ල මගේ නංගී ගාණට සෙට් කරගන්න හැකි වුනා කියමුකෝ.

නංගී විදිහට විතරයි,වෙන මොනවත් නෑ.

මෙයාගේ නම තමයි වත්සලා.අපේ පැත්තේ ඉස්කෝලෙක නැ‍ටුම්  තමයි උගන්වන්නේ.ඔන්න දවසක් එයා ඇවිල්ලා මගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා.

මොකක්ද උදව්ව.මොකද ඕනම කොල්ලෙක් බලන් ඉන්නේ කවුද අද මගෙන් උදව් ඉල්ලන් කෙල්ල කවුද කියලනේ,ඇයි කොල්ලො එච්චරම පරිත්‍යාගශීලීයිනේ,නේද?

කෙල්ලට ඕන වෙලා අපේ අර ඉස්කෝලේ (මතක තියාගන්න මේ ඉස්කෝලේ බාලිකා පාසලක්,නිකං නෙවෙයි ජනප්‍රිය ගනයේ එකක්) පොඩි පන්තිවල ලමයි ටික අල්ලන් එක වසරට ලමයි ගන්න දවසට තියන පිළිගැනීමේ උත්සවයේ බැලේ නර්තනයක් නටවන්න.(මට බැලේ නර්තනයක් කිව්වම එක පාරට තේරුනේ අනේ මට මේ නටන්න යන්න කතා කරනවා කියලා,කොහෙද?)

ඉතින් මට කියන්නේ,මොකද මං නැට්‍ටුක්කාරයෙක් කියලාද මේකි හිතාන ඉන්නේ?

නෑ.වත්සලාට ඕන කරලා තියෙන්නේ ඒකට බැලේ සංගීතයක් මං ලව්වා අන්තර්ජංජාලයෙන් හොයා ගන්න.කෙල්ලට එච්චර ඔය කෙහෙල්මල් තේරෙන්නේ නෑ, ඒහින්දා මට කිව්වා.ලංකාවේ ග්‍රාමීය හා නාගරික අධ්‍යාපනයේ බෙදීම් නිසා මේ වගේ දෙයකට මගේ උදව් ඉල්ලන එක මං එච්චර හෙළාදකින්නේ නෑ,අනික මොක වුනත් මේ වගේ ඉටිකිරිස් කෙල්ලෙක් උදව් ඉල්ලුවම මොන කොල්ලද නොකරන්නේ.

අනික පාර ඇහුවම මෝඩයා වගේ Google maps බලන්න කියන්නේ නෑ මං තුමා.දන්නවනම් එක්කගෙන ගිහිල්ලම පාර පෙන්නනවා මිසක් ෆෝන් එකේ වැඩ දාන්න ඕන නෑනේ.මොකද කෙල්ල පාර ඇහුවේ අපෙන් මිසක් ෆෝන් එකෙන් නෙවේනේ.

ඔන්න ඉතින් මාත් අන්තර්ජංජාලය පුරා අරහෙන් මෙහෙන් හොයලා ‍තෝර ගත්තා අර ඉස්කෝලෙ පොඩි ලමයින්ට හොඳ බැලේ සංගීතයන්, නාට්‍ය අරව මෙව්වා.

ඔන්න ඉතින් මං ඒක පෑනක දාගෙන අර ගෑනුලමයා ඉන්න බෝඩිමට හවසක ගිහින් ඒ ගෙදර පරිගණකයට දාලා දුන්නා.(මතක තියා ගන්න,මං ඒ කෙල්ලගේ කාමරේට එහෙම නෙවෙයි ගියේ,ඔන්න)

මං මුලින්ම බැලේ ඔපෙරාවක වීඩියෝවක් පෙන්නුවා.කෙල්ල ඉන්නවා හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලා ඉන්නවා වගේ.”අය්යෝ ඔය මොකක්ද,ඕවාද බැලේ කියන්නේ?”

“ඔව් නංගී, මේ අර එංගලන්තේ බැලේ වෙනුවෙන්ම පිහි‍ටුවලා තියෙන ඇකඩමියක ලමයි තමයි මේ රඟ පාන්නේ.බැලේ කියන්නේ අපේ රටේ දේශීය නර්තන කලාවට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්නේ.අපි දේශීය නර්තනයේදී පාදයේ පතුල මුළුමනින්ම පොළොව මත තියනවා.ඒත් බැලේ වලදි පොළොව මත ඇඟිලි තුඩු විතරක් තියලා අවකාශය මත රංගනයක් තමයි යන්නේ.එතනදි තමන් නිදහස් අවකාශයට තමයි තමන්ගේ නර්තන වින්‍යාසයන් විහිදී යන්නේ”මාත් ඉතින් මගේ දැනුම පෙන්නුවා.

ඒ වුනාට අපේ ඉස්කෝලේ බැලේ කියලා කළේ ඔය වගේ එකක් නෙවෙයිනේ.

මොකක්ද _____________,(මං අර ජනප්‍රිය ඉස්කෝලේ නම කිව්වා)

නෑ,මං ඉගෙනගත්ත එක,___________(ඒ කෙල්ල ඉගෙන ගත්ත ඉස්කෝලේ නම කිව්වා ඒකත් නම විතරයි,මං ඒ ඉස්කෝලේ නම ඇහුවෙත් එදාමයි)

 

ආ කාරි නෑ,මොනාද ගත්ත සංගීත කියන්න”

මාත් ඉතින් දාලා පෙන්නුවා අර සම්භාවනීය සංගීත රිද්ම කීපයක්.

ආපෝ,ඔය අර හවසට යන චූං පාං ලොරියේ සංගීතෙනෙ.

මොකා,

මෙය නම් අලුත් සොයාගැනීමකි.යුරෝපයේ 18 සියවසේ නිර්මාණය වූ සංගීත රිද්මයන් චුං පාං ලොරිවල රියදුරන් විසින් සොයාගත් එකක් බව මා දැන ගත්තේ එදාය.

ඔන්න එහෙමයි කතාව.අන්තිමට මං මෙන්න මේ සොයාගැනීම කිපයද වත්සලා එක්ක කතා කරලා දැන ගත්තා.

“චිත්‍රසේන යනු චිත්‍ර ශිල්පියෙකි(ඒකත් ශුවර් නැල්ලු)

ප්‍රේමසිරි කේමදාස යනු ප්‍රේමදාස ජනපතිගේ නෑයෙක් විය හැක.

ඇනා පැව්ලෝවා යනු ලංකාවේ ඉන්නා රුසියානු කෙල්ලෙක් විය හැක.

බැලේ නටන්නේ ඔලුව නැටවීමෙනි.

යකෝ වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටිච්ච එකාට වඩා බයිට් එකක්නේ මට සෙට් වුනේ.

මේ කෙල්ල බැලේ ගැන මෙලෝ මලදානයක් නොදැන ටවුමක ඉස්කෝලෙක පොඩි එවුන්ව බැලේ නටවන්න හදනවා.

මටත් තිබුනේ අර බස්වල දාගෙන ඉන්න පජාත් ඉංග්‍රීසි සින්දු ටිකක් හොයලා දෙන්න,කෙළවෙලා යන්න කියලා.

කොහොමහරි වත්සලා ඒ ඉස්කෝලේ බැලේ කොහොමවෙතත් ඒ වගේ එකක් නැටෙව්වා කියලා නම් පස්සේ ආරංචියක් ආවා.ඒකෙන් පස්සේ කෙල්ල මට මූණ දෙන්නේ නෑ.බැලේ ශිල්පියෙක් වලෙන් නැගිටලා ආවවත්ද?

මේක අහපු තව යුවතියක් මට කිව්වේ “තමන්ට ගැලපෙන අය ආශ්‍රය කරන්න කියන්නේ ඒකනේ”කියලා.බලන් ගියාම ඒකත් ඇත්ත අප්පා.1 වසරේ ප්‍රශ්නයට 13 වසරේ උත්තර දෙන්න ඕන නෑනේ.